එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් දායකත්වයෙන් කසකස්තාන සංචාරයන් 160ක් මෙරටට එයි

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක සංචාරක නියෝජිත ආයතනය වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් (පෞද්) සමාගම කසකස්තානයේ TUI සමාගම සමගින් ඇති කරගත් හවුල්කාරීත්වය යටතේ ඊයේ (06දා) දිනයේදී කසකස්තාන සංචාරකයන් 160 දෙනෙකු මත්තල ගුවන් තොටුපොළ  හරහා මෙරටට පැමිණීම සිදු විය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාස 10කට පසුව පසුගිය ජනවාරි අවසන් සතියේදී මෙරට ගුවන් තොටුපොළ නැවත විදේශිකයන්ට විවෘත කිරීමෙන් අනතුරුව පැමිණි පළමු කසකස්තාන සංචාරක කණ්ඩායමද මෙය වෙයි. එරට Air Astana ගුවන් සේවයට අයත් එයාර්බස් A321 මාදිලියේ යානයක විශේෂිත ගුවන් මෙහෙයුමක් යටතේ මෙම පිරිස මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

Air Astana ගුවන් සේවය ඉදිරියේදී සතියේ සෑම සෙනසුරාදාවකම මෙරට වෙත ගුවන් ගමනක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. මෙය ලබන අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. මීට අමතරව කසකස්තානයේ SCAT ගුවන් සේවයද ලබන අප්‍රේල් මාසය දක්වා සෑම බ්‍රහස්පතින්දාවකම කසකස්තානයේ සිට ගුවන් මෙහෙයුමක් සිදු කරයි. මෙම ගුවන් මෙහෙයුම් දෙක හරහා මෙරටට සංචාරකයන් 350 දෙනෙකු රැගෙන එන බවද එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම සඳහන් කරයි.

මෙම සකසක්සාතන සංචාරක පැමිණීම ‘බයෝ බබ්ල්’ සංකල්පය අනුව සිදු වුණු බව පැවසෙයි. විහිදී විශේෂයෙන්ම වඩාත් සුරක්ෂිත ක්‍රමවේදයක් යටතේ ජාත්‍යන්තර සංචාරකයන්ට රට තුළ සංචාරය කිරීමට මෙය විශාල අවස්ථාවක් සලසා දී ඇතැයිද පැවසෙයි.

මෙම  අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ නලින් විජේසුන්දර මහතා, “මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත යළි නගාසිටුවීම සඳහා එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම සිදු කරන ආයෝජනයක්. සංචාරක අධිකාරිය ඉතාමත් ඉහළ සෞඛ්‍ය නීතිරීතින් පිහිටුවා තිබෙනවා. කොහොම වුණත් මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් මැද වුවත් ඉතාමත් සාර්ථක ලෙස මෙම මෙහෙයුම් සිදු කිරීමට හැකියාව පවතින බව අපට විශ්වාසයි.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී කසකස්තානය සංචාරක කර්මානතයේ මැදි වෙළෙඳ පොළක් ලෙස හඳුනාගෙන ඇතැයි එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම පවසයි. එය ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත සංචාරක පැමිණීම් පුළුල් කිරීම සඳහා හැකියාව ඇති වෙළෙඳ පොළක් බවද සමාගමේ අදහස වී තිබේ. මෙලෙස පැමිණෙන කසකස්තාන සංචාරකයන් පවා සිය දරුවන්ද සමගින් මෙරටට පැමිණ තරු  හතරේ සහ තරු පහේ හෝටල් තුළ ලැගුම් ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන්නන් බවත් සඳහන් වෙයි.

මෙම කසකස්තාන සංචාරකයන්ගේ පැමිණීමත් සමගින්ම ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමේ සිට මේ දක්වා විදෙස් සංචාරකයන් 2,000ක් පමණ මෙරටට පැමිණ ඇතැයි සංචාරක බලධාරීන් සඳහන් කරයි.

Visits: 161