කලම්බු සිටි සෙන්ටර්හි CEO ලෙස ඉන්දියාවේ ප්‍රවීන් මෙතිල් පත් කෙරේ

අබාන්ස් සමූහ ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කරන කලම්බු සිටි සෙන්ටර්හි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දේපළ වෙළෙඳාම් සංවර්ධනය පිළිබඳ වසර 24කට අධික කාලයක අත්දැකීම් සහිත ඉන්දියානු ජාතික ප්‍රවීන් මෙතිල් මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි.

අලෙවිය සහ අලෙවිකරණය සම්බන්ධයෙන් මෙන්ම සන්නාම කළමනාකරණය පිළිබඳව අත්දැකීම් සහිත ප්‍රවීන් මෙතිල් මහතා මීට පෙර  ඉන්දියාව තුළ මෙන්ම මැදපෙරදිගද වෙළෙඳ පොළ තුළ රැකියාව සිදු කර තිබේ.

ඒ අනුව මීට පෙර ඒ මහතා ඉන්දියාවේ කොයිම්බතූර්හි Prozone Intu Properties, චෙන්නායිහි Phoenix Market City, බැංගලෝරයේ Mantri Developers, සහ කටාරයේ දෝහා නුවර Landmark Group හි අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.

මෙතින් මහතා සතුව පොන්ඩිචෙරි විශ්වවිදාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳව උපාධියක්ද, මැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් හෝටල් කළමනාකරණය පිළිබඳ උපාධියක්ද හිමි කරගෙන ඇත. එසේම ඒ මහතා ඉන්දියාව තුළ ව්‍යාපාර සුවිශේෂතා කමිටුවෙහි සාමාජිකයෙකු මෙන්ම සිල්ලර සහ ආහාර සහ පාන වර්ග සන්නාම දේශීයව මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙතද හඳුන්වාදීම සඳහාද කටයුතු යෙදූ අයෙකු බව සඳහන් වෙයි.

කාමර දෙක සහ කාමර තුන සහිත සුඛෝපභෝගී නිවාස 192කින් සමන්විත කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය තුළ පෙන්තහවුස් මාදිලයේ නිවාස මෙන්ම ජාත්‍යන්ත මට්ටමේ සාප්පු සංකීරණයක් සහ 2021 වසරේදී ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර මට්ටමේ හෝටලයක්ද පවතින බව සඳහන් වෙයි.

Visits: 536