“දෙස් විදෙස් ව්‍යාපාරවලට බලපාන යල් පැන ගිය නීති හා රෙගුලාසි සංශෝධනයට පියවර ගන්නවා” – ජනපති නිදහස් දිනයේදී පවසයි

දේශීය හා විදේශීය ව්‍යාපාරවලට බලපාන යල් පැන ගිය නීති හා රෙගුලාසි සංශෝධනයට හා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි. ඊයේ (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති 73වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් එතුමා මේ ප්‍රකාශය කළේය.

එහිදී කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනු ලබන බවත් ජනපතිවරයා පැවසීය. ඊට සහය වීමට තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

“දුප්පත්කම තුරන් කිරීම, දේශීය ව්‍යාපාරිකයන් ගොඩනැගීම ඇතුළු අරමුණු සපුරා ගැනීමට පිරිසිදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය වේ. එසේ වුවත් රාජ්‍ය සේවයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාවක් දකින්නට ලැබේ. තීරණ ගැනීමට හැකි සීමාව තුළ වුවද ඇතැම්හු ඊට පැකිළෙති. නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සැකසෙමින් පවතිනවා., යනුවෙන්ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

එසේම රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නැතැයි ජනාධිපතිතුමා අවධාරණයෙන් පවසා සිටියේය.

“දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට දැඩි බාධාවකි. ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නොලැබේ. එබැවින් දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කිරීමට එකතුවෙන්න‍”යනුවෙන් එතුමා සියලුදෙනාට ආරාධනා කළේය.

“ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට භාරදුන් වගකීම මම නොපිරිහෙළා ඉටු කරනවා” දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය හමුවේ ප්‍රතිඥා ලබා දුන්නේය.

ඒ අනුව ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ඨාචාර ගොඩනැගුවේත්, රටවල් සංවර්ධනය කළෙත් ඉලක්ක හඹා ගිය මිනිසුන් බව පෙන්වා දුන් ජනපතිවරයා, වර්තමානයට අවශ්‍ය වන්නෙත් එවැනි චින්තනයක් යැයිද අවධාරණය කළේය.

තමා සිංහල බෞද්ධ නායකයකු බව කියන්නට කිසිවිටක නොපැකිලෙන බවත්, තමා රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව බවත් ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. බෞද්ධ දර්ශනය සෑම ආගමිකයෙකුටම සහ ජාතිකයෙකුටම පවතින නීති රාමුව තුළ සමානව නිදහස භුක්ති විදීමේ අයිතිය සහතික කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂමේ සහ පසුගිය පාර්ලිමේන්තුව පත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. අපරාධය සැලසුම් කළ, අනුබල දුන් කිසිවෙකුට නීතියෙන් ගැලවී යන්නට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

රට වෙනුවෙන් තමාගෙන් සේවයක් බලාපොරොත්තු වූ සියලුදෙනා එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීමටය. ඒ සඳහා සෑම විමට කැපවන අතර, පටු චේතනාවෙන් සහය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දු නොගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙවර 73 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධාන කර තිබිණ. යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ආචාර පෙළපාලියට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කළ දැකුම්කළු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය. මනාව පුහුණු කරන ලද අලංකාර ඇදුමින් සැරසුන යෞවන යෞවනියෝ විශාල පිරිසක් නර්තනයෙන් සහ වාදනයෙන් ඊට දායක වූහ.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු හා මහකොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරාක්ෂක අංශ ප්‍රධානීහූ, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Visits: 37