වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වටවල ඩේරි වෙත රුපියල් මිලියන 296ක් යොදවයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අනුබද්ධ වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන වටවල ඩේරි ලිමිටඩ් වෙත රුපියල් මිලියන 296ක මුදලක් යොදවන බව පවසයි.

ඊයේ පැවැත්වුණු එම වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබෙන බව එම සමාගම සියලුම කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි. ඒ අනුව මෙම මුදල වටවල ඩේරි ලිමිටඩ් සමාගමේ ප්‍රාග්ධනය වෙත යොදවන බව සමාගම වැඩිදුරත් සඳහන් කරයි.

වටවල ඩේරි ලිමිටඩ් සමාගම සිංගප්පූරුවේ Duxton Asset Management පෞද්ගලික සමාගම සමගින් 2016 වසරේදී ඇති කරගත් ඒකාබද්ධ එකඟතාවකට අනුව වටවල පිහිටි Lonach Estate හි මෙහෙයුම් ඇරඹුණි. මෙම ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 11.5ක් විය.  

එහිදී ඇති කරගත් එකඟතාවට අනුව වටවල ඩේරි ලිමිටඩ් සමාගමේ හිමිකාරීත්වයෙන් 68%ක ප්‍රතිශතයක් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සතු වූ අතර, ඉතිරි 32%ක ප්‍රතිශතය සිංගප්පූරුවේ Duxton Asset Management පෞද්ගලික සමාගම වෙත හිමි විය. 

කෙසේ වෙතත් 2019 වසරේ මැයි මාසයේදී වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම එම 32%ක ප්‍රතිශතය මිලදී ගැනීමත් සමගින්ම වටවල සමූහය සතු වටවල ඩේරි සමාගමේ කොස් ප්‍රතිශතය 68%සිට 100%ක් දක්වා ඉහළයාම සිදු විය.

2020 වසරේදී වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් වටවල ඩේරි ලිමිටඩ් සමාගම වෙත සිදු කළ ආයෝජනය රුපියල් 1,867,390,000 කි. 2020 මාර්තු 31 වැනිදා වනවිට වටවල ඩේරි ලිමිටඩ් සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 2,456,920,000 ක් විය.

Visits: 355