ටයිල් හා නාන කාමර උපාංග ආනයන තහනම එලෙසින්මයි

ටයිල් හා නාන කාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අහෝසි කරන බවට මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අවලංගු කරන බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය විසින් ලිපියක් මගින් සියලුම වානිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම් දී තිබේ. එසේම එහි පිටපත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙතද යවා ඇත.

මේ පිළිබඳව සිරස නිව්ස් ෆස්ට් සමගින් අදහස් දැක් වූ ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය, “මේ ගැසට් පත්‍රය නිකුත් වුණා කියන්නේ ඇත්තටම අගමැති තුමා ඒ ගැන සඳහන් කළා. එහෙත් එය ක්‍රියාත්මක කරන්න පෙර නැවත ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක් මත එය තාවකාලිකව අත්හිටවලා තියෙනවා. ඒ ගැන බැංකු වගේම රේගුවත් දැනුවත් කරන්න අපි ඊයේ රෑ කටයුතු කළා වුණත්. අපි උදේම එය අහෝසි කරන්න පියවර ගත්තා.” යනුවෙන් පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටින ඇය “මේ නිසා කාටවත් බලපෑමක් වුණේ නැහැ. ඇත්තටම මේ ගත්ත තීරණවලට පසුබිම් වූ කරුණු මෙතැනදී ප්‍රකාශ කරන්න බැහැ. මුදල් අමාත්‍යාංශයෙන් මට ලැබුණු උපදෙස් අනුව තමයි මේ ගැසට් පත්‍රය  නිකුත් නොකර අවලංගු කිරීමක් සිදු වුණේ. මෙතැනදී කාටවත් වාසියක් හෝ අවාසියක් නොවෙන්න තමයි ආනයන අපනයන පාලක ජනරාල්වරිය ලෙස මම අන්තර්කාලීන නියෝගයක් නිකුත් කර තිබෙන්නේ.” යනුවෙන්ද පවසා තිබේ.

මෙම තහනම හේතුවෙන් මෙර වෙළෙඳ පොළේ ටයිල් හා නාන කාමර උපාංගවල මිල ගණන් 600%කින් ඉහළ ගොස් ඇති බවටද වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Visits: 170