කමල් පුන්චිහේවා මස්කෙලිය ප්ලාන්ටේෂන්ස් වැඩබලන CEO ධුරයට

ආර්පිකෝ සමූහයට අයත් රිචර්ඩ් පීරිස් සමාගම යටතේ ක්‍රියාත්මක මස්කෙලිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කමල් ජී. පුන්චිහේවා මහතා පත් කෙරී ඇතැයි එම සමාගම සඳහන් කරයි. 2021 පෙබරවාරි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මේ වන විටත් ඒ මහතා ආර්පිකෝ සමූහයේ වැවිලි අංශයෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි. මෙම පත් වීම ලබන අවස්ථාව වන විට පුන්චිහේවා මහතා සතුව මස්කෙලිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවද සමාගම දන්වා සිටියි.

වැවිලි ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත කමල් පුන්චිහේවා මහතා 1983 වසරේදී  BR De Silva and Co. හි හවුල්කරුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කර තිබේ. 1991 වසරේදී කොටගල ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් හි මූල්‍ය පාලකවරයා ලෙස පත්වීම් ලබා ඇති ඒ මහතා 1992 වසරේදී ජෝර්ජ් ස්ටුවර්ඩ් සමූහයේ සමූහ මූල්‍ය පාලකවරයා ලෙස පත්වීම් ලැබ තිබේ.

2002 වසරේදී නැවත වරක් වැවිලි අංශය සමගින් සම්බන්ධ වන පුන්චිහේවා මහතා කහවත්ත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්හි සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස පත්වීම් ලැබ තිබේ. අනතුරුව 2005 වසරේදී වි‍දේශයක පත්වීමක් ලබන ඔහු  ඉන්දුනීසියිවේ PT Agro Bukit සමාගමේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කර ඇත. එසේම ඔහු ඉන්දුනීසියාවේ  Good Hope Asia සමූහයේ වැවැලි මෙහෙයුම් සහ ව්‍යාපාර සහාය හි මූල්‍ය ප්‍රධානියා ලෙස පත්වීම් ලැබ ඇත.

2011 වසරේදී ලංකෙම් ටී ඇන්ඩ් රබර් ප්ලාන්ටේෂන්ස් (පෞද්) සමාගම හා එක් වන ඔහු එහි අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. 2014 වසරේදී ඔහු ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස උසස්වීම් ලැබ තිබේ. 2016 වසරේදී බ්‍රවුන්ස් සමූහයට එකතු වන ඔහු එහි වැවිලි අංශයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබ තිබේ.

2020 වසරේ අගෝස්තු මාසයේදී  ඒ මහතා ආර්පිකෝ සමූහය වෙත එක්ව ඇත. එහිදී එම සමූහයේ වැවිලි අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස ඒ මහතා කටයුතු කරයි. කමල් පුන්චිහේවා මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

Visits: 39