සණස සංවර්ධන බැංකුව ඇමෙරිකාවේ USIDFC වෙතින් ඩො.මි. 40ක ණයක් ගැනීමට යයි

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත වාණිජ බැංකුවක් වන සණස සංවර්ධන බැංකුව (SDB) ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමායතනය (U.S. International Development Finance Corporation – USIDFC) හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක ණය මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පවසයි.

එක්සත් ජනපද රජයේ සංවර්ධන බැංකුවෙහි (US Government Development Bank) හස්තයක් ලෙස මෙම USIDFC ආයතනය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මෙම ණය මුදල සම්බන්ධයෙන් එම බැංකුවෙහි නියාමන අනුමැතිය හිමිවීමට නියමිතව තිබෙන බවත් සණස සංවර්ධන බැංකුව සඳහන් කරයි.

මෙම ණය මුදල ලබා ගැනීමෙන් අනතුරුව සණස සංවර්ධන බැංකුව සහ USIDFC   එක්ව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ කාන්තා ව්‍යවසායන් වෙත සහාය දැක්වීම අරමුණ බව පවසයි.  ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය පෞද්ගලික අංශයේ ආයෝජනයන් වෙත සහාය දැක්වීම සිදු කරන බවත් සණස සංවර්ධන බැංකුව පවසයි.

USIDFC ආයතනය පසුගිය දෙසැම්බර් 10 වැනිදා නිකුත් කළ නිවේදනයක් තුළ සණස සංවර්ධන බැංකුව වෙත ලබා දීමට නියමිත මෙම ණය මුදල ගැන සඳහන්ව තිබේ.

එම ආයතනය අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ඉන්දු-පැසිපික්, ලතින් ඇමෙරිකාව සහ මැදපෙරදිග කලාපයේ නැගී එන වෙළෙඳ පොළ තුළ සංවර්ධන කටයුතු සඳහා එම කාර්තුව තුළ ලබා දෙන ඩොලර් බිලියන 2.1ක අරමුදල යටතේ අමතරව තවත් ව්‍යාපෘති 16ක් සඳහා ලබා දෙන ඩොලර් මිලියන 587ක ණය මුදල  හරහා මෙම මුදල ප්‍රදානය කෙරෙන බව සඳහන් කෙරී තිබේ.  

ඒ අනුව එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම කාර්තුව සඳහා අනුමැතිය ලබා දුන් ණය ප්‍රදාන අතර සණස සංවර්ධන බැංකුවට ලබා දුන් ණයද ඇතුළත්ව ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ සාකච්ඡාව පැවැත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව  USIDFC ආයතනය එහිදී සඳහන් කර සිටියි.

Visits: 420