මෙතෙක් සිදු වූ දැවැන්තම කඩා වැටීම වාර්තා වෙයි

අද (පෙබරවාරි 02) දිනයේ ආරම්භයත් සමගින්ම වෙළෙඳ පොළ තුළ ඉහළ කොටස් අලෙවි කිරීමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේදී මිල ගණන් ඉහළ ගිය කොටස් අලෙවිය සඳහා ආයෝජකයන් වැඩි ප්‍රවණතාවක් දැක් වූ අතර ඒ හේතුවෙන් කලබලකාරී අලෙවියක් කොටස් හුවමාරුව තුළ දැකගත හැකි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස පෙර දිනයට සාපේක්ෂව කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස පහළ වැටීමක් සිදු විය. එහිදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් පහත වැටුණු අතර, කොටස් හුවමාරු ඉතිහාසයේ එය ඒකක 500කට වඩා වැඩියෙන් පහත වැටුණු පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වී තිබේ. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයේ පහත වැටීම් හේතුවෙන් දිනය තුළ අවස්ථා දෙකකදීම කොටස් ගනුදෙනු අත්හිටුවීමටත් සිදු විය.     

ඒ අනුව අද දිනයේදී ඒකක 7,837.39ත් ඒකක 8,623.88 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,005.32 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 01) දිනයට සාපේක්ෂව ඒකක 561.75 ක් එනම් -6.56%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී කිසිදු පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වූ ගනුදෙනුවක් කොටස් හුවමාරුව තුළ වාර්තා වී නැත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 10ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 222ක මිල ගණන් පහළ යාමත් කැපී පෙනෙන අවස්ථාවක් විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී AGAL (+0.25), මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී MAL (+0.14), බොගවන්තලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී BOGA (+0.13), සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී SHOT (+0.12), නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී CSF (+0.11),  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-40.49),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-38.48),  වැලිබල් වන් පීඑල්සී VONE (-34.8), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-25.72),  එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-22.36) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,187.38 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 01) දිනයට සාපේක්ෂව ඒකක 251.77 ක එනම් -7.32%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.93ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 01දා) වාර්තා කළ රුපියල් බිලියන 23.75ට සාපේක්ෂව 71% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.5ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.20%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 137.27ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 316.35ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 179.08කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 9.07ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.75කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 57.93ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 2,083ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ බැංකු යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,237ක සහ රුපියල් මිලියන 991 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 221