BIL ගනුදෙනු නිසා සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 23.75ක් වෙයි

අද (පෙබරවාරි 01) දිනයේ ආරම්භයත් සමගින්ම වෙළෙඳ පොළ තුළ ධනාත්මක ලක්ෂණයක් පැවතුණත්, ආයෝජකයන් ලාභ ඉපැයීම් සඳහා යොමුවීමත් සමගින්ම එහි ඍණාත්මක තත්ත්වයට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි සිදු වූ ගනුදෙනු එතෙක් මෙතෙක් කොටස් හුවමාරුවේ සිදු වුණු ඉහළම පිරිවැටුම සඳහා දායකත්වය ලබා දීම සිදු විය. කෙසේ වෙතත් අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය පිට පිට දෙවැනි දිනටත් අඩුවීමක් පෙන්නුම් කෙරිණි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,521.42ත් ඒකක 8,758.98 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,567.07 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 29) දිනයට සාපේක්ෂව ඒකක 101.0 ක් එනම් -1.17%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 71%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 55ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 153ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+6.11), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+5.38), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+5.05), සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී CFIN (+4.61), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+4.52),  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-9.78),  එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-9.12),  කොමර්ෂල් බැංකුව COMB (-8.55), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-8.26),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-6.19)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,439.15 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 29) දිනයට සාපේක්ෂව ඒකක 75.03 ක එනම් -2.14%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 23.75ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (ජනවාරි 29දා) වාර්තා කළ රුපියල් බිලියන 13.42ට සාපේක්ෂව 77% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.75ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 26.49%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 149.63ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 532.10ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 382.47කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 8.89ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.49කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 192.74ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 17,567ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 74% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,814ක සහ රුපියල් මිලියන 1,600 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 273