හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීමට කොටස් ගනුදෙනු දින තුනක් අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේලීස් පීඑල්සී මගින් සිදු කිරිමට සැලසුම් කර ඇති කොටස් අතුරු බෙදීමට අදාළව එම සමාගමේ කොටස් ගනුදෙනු ලබන පෙබරවාරි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා (වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක්) අත්හිටුවීම සිදු කරන බව එම සමාගම පවසයි.

ඒ අනුව 2021 පෙබරවාරි 10 වැනිදා ගනුදෙනු අවසන් වන අවස්ථාව වනවිට පවතින කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

එහිදී මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) යාවත්කාලීන කිරීම සඳහා දින තුනක කාලයක් අවශ්‍ය බවත් ඒ හේතුවෙන් පෙබරවාරි 11 වැනිදා, 12 වැනිදා මෙන්ම 15 වැනිදා ලෙස දින තුනක කාලයක් මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ.

මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 16 වැනිදා (අඟහරුවාදා) සිට යළිත් සුපුරුදු පරිදි හේලීස් පීඑල්සී කොටස් ගනුදෙනු ආරම්භ කෙරෙන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී CDS ගිණුම් හිමි කොටස්  හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත.

මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීම යටතේ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් 10ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 75,000,000 මෙම අතුරු බෙදීමත් සමග කොටස් 750,000,000ක් දක්වා  ඉහළ යයි. 

අද දිනයේදී හේලීස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 741.50ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය සිකුරාදා දිනයේදී පැවැති රුපියල් 772.00 ට සාපේක්ෂව රුපියල් 30.50ක එනම් -3.95%ක අඩු වීමකි.

Visits: 548