නැ. පර්යන්තය පිළිබඳව පත් කළ කමිටුවේ කරුණුවලට විදේශීය සමාගම එකඟ නොවෙයි – “එය 100%ක් වරාය අධිකාරිය යටතට” – අගමැති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පත් කළ කමිටුවේ වාර්තාවේ ඇතුළත් කරුණු සඳහා විදේශීය සමාගම එකඟතාව පළ කර නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යතුමා අතර අද 2021.02.01 පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවක් අතරතුරදී අගමැතිවරයා මේ බව පවසා තිබේ. මෙම කමිටු වාර්තාව ඊයේ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කෙරී ඇත.

මේ හේතුව නිසා වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය ආධිකාරිය යටතේ  ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කරන බවත්, ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අගමැතිවරයා මෙහිදී පවසා ඇතැයි අගමැති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති අගමැතිවරයා, වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බව පවසා ඇත. 

අගමැතිවරයාගේ එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව එකඟ වී තිබේ.

මේ අතර, කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා තිබුණි. එසේම එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබුණි. 

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ වූ බවද අගමැති  මාධ්‍ය අංශය පවසයි.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය තුමාගේ වෘත්තීය සම්ති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ යන මහත්වරුන් හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් රැසක් එක්ව තිබේ.

Visits: 92