2020 තෙවැනි කාර්තුවේදී එක්ස්පෝලංකා රු.බි. 57.8ක ආදායමක්, රු.බි. 4.5ක බදු පසු ලාභයක් හිමි කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රධාන පෙළේ සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ අවසන් කාර්තුවේදී රුපියල් බිලියන 57.8ක ආදායමක් සහ රුපියල් බිලියන 4.5ක බදු පසු ලාභයක් අත්කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. මෙම ආදායම් ඉපැයීම 2019/20 මූල්‍ය වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව 108%ක වර්ධනයකි.

විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරයේ සිදු වූ ඉහළ ක්‍රියාකාරිත්වය මෙලෙස එම කාර්තුවේ වර්ධනය සඳහා හේතු වී තිබෙන බව සමාගම පවසයි. එහිදී සමාගම මගින් පවත්වාගෙන ආ දිගුකාලීන ක්‍රමෝපාය වන පාරිභෝගිකයන් පුළුල් කිරීම, සේවා සම්පාදනයේ විවිධාංගීකරණය මෙන්ම තාක්ෂණය වෙත ආයෝජනය කිරීම ඇතුළු කාරණා මේ සඳහා දායකත්වය මෙලෙස භාණ්ඩ ප්‍රවාහන අංශය තුළ වර්ධනයට බලපා තිබේ.

ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මුල්‍ය වසරේ මුල් මාස නවය තුළදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීල්සී මගින් රුපියල් බිලියන 143.2ක ආදායමක් උත්පාදනය කරගැනීමට සමත්ව ඇති අතර එම කාලසීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 10.8ක් ලෙස සටහන්ව ඇත.

2020/21 අවසන් කාර්තුවේදී මෙලෙස වර්ධනයක් පෙන්වූ භාණ්ඩ ප්‍රවාහනය අංශය තුළ ශක්තිමත් අලෙවි පරිමාවක් ඇති කිරීම සඳහා විශේෂයෙන්ම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ලොව පුරා ඉල්ලුම ඉහළ ගිය පෞද්ගලික ආරක්ෂක උපාංග (PPE) කට්ටල ප්‍රවාහනය හේතු වී තිබේ. එසේම වෙළෙඳ පොළ මිල ගණන් ඇතුළු තවත් කාරණා හේතුවෙන් අවසන් කාර්තුවේදී මෙම භාණ්ඩ ප්‍රවාහන අංශය  හරහා ලැබූ ආදායම රුපියල් බිලියන  57.3ක් බවට පත්ව ඇත. එහිදී දළ ලාභය රුපියල් බිලියන 9.5ක් ලෙස සටහන්ව ඇති අතර බදු පසු ලාභය රුපියල් බිලියන 4.7ක් ලෙස සටහන්ව ඇතැයිද එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර ගුවන් තොටුපොළ  විවෘත කිරීමෙන් අනතුරුව සහ සංචාරක සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව දැනට පසුබෑමට ලක්ව සමාගමේ ලෙෂර් අංශය තුළ ඉදිරි වර්ධනයක් බලාපොරොත්තු වන බවත් සමාගම පවසයි. එසේම ආයෝජන අංශය තුළදී වඩාත් ස්ථිර කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති අපනයන මෙහෙයුම් හරහා රුපියල් මිලියන 478ක ආදායමක් ඉපැයීමට සමත්ව ඇත. මීට අමතරව සමාගමේ තාක්ෂණික සේවා හස්තය සිය පාරිභෝගික කළඹ සහ වෙළෙඳ පොළ වෙත පිවිසීම යනාදිය පුළුල් කරගැනීම සඳහා කටයුතු කර ඇතැයිද එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 458