LB ෆිනෑන්ස් සමාගමත් කොටස් අතුරු බෙදීමක් ප්‍රකාශ කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන එල්බී ෆිනෑන්ස් සමාගම සිය කොටස් අතුරු බෙදීමක් හරහා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට පියවර ගෙන ඇතැයි ප්‍රකාශයට පත් කරයි. අද දිනයේදී පැවැත්වුණු එල්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දැනට පවතින සෑම සාමාන්‍ය කොටසක්ම අලුත් කොටස් හතරක් වන ලෙස මෙම අතුරු බෙදීම සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව මෙම අතුරු බෙදීමත් සමගින්ම සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව 138,514,284 සිට 554,057,136 දක්වා සිව් ගුණයකින් ඉහළ යන බව සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් කිසිදු ලෙසකින්වත් සමාගමේ දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනයට වෙනසක් සිදු නොවන බවත් එය රුපියල් 838,282,159ක් ලෙස එලෙසින්ම වන බවත් එල්බී ෆිනෑන්ස් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙහිදී සමාගම වෙත අදාළ කොටස් අතුරු බෙදීම සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි එකඟතාව ලැබී තිබෙන බවත්, සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අතිවිශේෂ මහා රැස්වීමකදී කොටස්කරුවන්ගේ අනුමැතිය මේ සඳහා හිමිව ඇති බවත් එල්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එල්බී ෆිනෑන්ස් සමාගම යනු පසුගියදා සමාගම් 14ක කොටස් අතුරු බෙදීම් පිළිබඳ නිවේදනය නිකුත් කළ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාර ගොන්න වෙත අයත් මූල්‍ය සමාගමකි.

මෙම කොටස් අතුරු බෙදීම ප්‍රකාශයට පත් කිරීමත් සමගින්ම අද දිනයේදී එල්බී ෆිනෑන්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 88 කින් එනම් 37.85%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනය නිමා වනවිට එහි අගය රුපියල් 320.50ක් බවට පත්ව තිබුණි. ඊයේ දිනයේ ගනුදෙනු නිමාවේදී එය රුපියල් 232.50 ක් විය.

Visits: 309