ආසියානු පැසිෆික් කලාපයේ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට වයිබර් සමත් වෙයි

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර් 2020 වර්ෂය තුළ ආසියානු පැසිෆික් කලාපයේ සිය කාර්යසාධන තත්ත්වය ඉහළ නංවාගනිමින් 2019 වසරට සාපේක්ෂව සියයට 421ක දැවැන්ත නව පාරිභෝගික වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය. ඒ සඳහා ශ්‍රී ලංකාව ද සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බව වයිබර් සමාගම නිවේදනය කර සිටී.

එම කාලය තුළ වයිබර් හි කෙටි පණිවුඩ සේවාව ද 509%කින් වර්ධනය වී තිබේ. එමෙන්ම කණ්ඩායම් වෙත කෙටි පණිවුඩ යැවීමත්, වයිබර් Community විශේෂාංගය හරහා කෙටි පණිවුඩ යැවීමත් විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබේ.

මේ අනුව බලන කල, වයිබර්හි දස වසරක කාලසීමාව තුළ ගෙවුනු සාර්ථක ම වර්ෂයක් බවට 2020 වර්ෂය පත්ව තිබේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි ආසියා-පැසිෆික් කලාපයේ රටවල් ආශ්‍රිතව වයිබර්හි ක්‍රියාකාරීත්වය සැළකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එහිදී වයිබර් Community විශේෂාංගයට ශ්‍රී ලාංකිකයින්ගේ විශාල ආකර්ෂණයක් හිමිව තිබෙන අතර, ඒ වෙත යවන කෙටි පණිවුඩ ප්‍රමාණය 85%කින් හා එම විශේෂාංගය සක්‍රීයව භාවිත කරන පරිශීලකයින් ප්‍රමාණය 125%කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් වයිබර් සමඟ අත්වැල් බැඳගැනීම, මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක. උදාහරණ වශයෙන් කාර්ගිල්ස් ෆුඩ් සිටි, ජාතික ලොතරැයි මණ්ඩලය, මහජන බැංකුවේ වනිතා වාසනා ගිණුම ආදී ආයතන මෙසේ වයිබර් සමඟ සහයෝගීතාවන්ට පිවිස තිබේ.

මේ අතර පරිශීලකයින්ට තම සියලු උපාංග හරහා දෛනික කටයුතු සංවිධානය කරගැනීමට අවස්ථාව ලබාදෙමින් My Notes නමින් නව විශේෂාංගයක් හඳුන්වා දීමට ද වයිබර් කටයුතු කළේය. ඊට අමතරව Birthday Reminders, Disappearing Messages සහ GIF Creator ආදී තවත් විශේෂාංග ගණනාවක් ම මෙරට වයිබර් පරිශීලකයින් වෙනුවෙන් ද එළිදැක්විණි.

විශේෂයෙන් ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට පෙළඹුණහ. එම පසුබිම මත වයිබර් සිය Group වීඩියෝ සහ සාමාන්‍ය ඇමතුම් සඳහා එකවර සම්බන්ධ කරගත හැකි ග්‍රාහකයින් ප්‍රමාණය 20 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගත්තේ ය. කොවිඩ්-19 පිළිබඳව වැදගත් තොරතුරු වයිබර් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ද ඒ අතරතුර ආරම්භ විය.  

ඒ අනුව කොවිඩ්-19 වෛරසය පිළිබඳ ජනතාව සතු විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වෙනුවෙන් වයිබර් chatbot එකක් නිර්මාණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා කළ අතර, ශ්‍රී ලංකාවේදීත් මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය  වයිබර් හා එක්ව විශ්වාසනීය තොරතුරු ශ්‍රී ලාංකිකයින්ට ලබාදිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළේය.

සෑමවිට ම තම පරිශීලකයින්ගේ අවශ්‍යතා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන වයිබර් සමාගම, ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් 2020 වසරේදී ෆේස්බුක් සමඟ පැවැති සියලු ව්‍යාපාර සබඳතා අත්හැර දැමීමට පියවර ගත්තේ ය. ඊට හේතු වූයේ ෆේස්බුක් සමාගම ලාභ අරමුණු කරගනිමින් තම පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කරන බව හෙළිදරව් වීම ය.

”2020 වර්ෂය කියන්නේ අපි සියලුදෙනාගේ ජීවිතය වෙනස් කළ වසරක් ලෙස ඉතිහාසයට එක්වේවි. විශේෂයෙන් ම ආසියානු කලාපයේ ජනතාව වසංගතය හමුවේ ශක්තිමත්ව නැඟී සිටි අයුරු මා දුටුවා. ආසියානුවන් සතු එම දැවැන්ත ශක්තිය අපට විශාල ආදර්ශයක් සපයන අතරේ ම, සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතු මෙවන් කාලසීමාවකදී තිරයෙන් පිටුපස හිඳිමින් වයිබර් සිදුකරන කාර්යභාරයේ වටිනාකමත් අපට මැනවින් අවබෝධ වුණා. ඉදිරියේදීත් වයිබර් පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන නව විශේෂාංග හඳුන්වාදීමට අපි කැපවී සිටිනවා“, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන වර්ධන නිලධාරිනී ඇනා නමෙන්ස්කයා පැවසුවාය.

2020 වසරේදී තම 10වැනි සංවත්සරය සම්පූර්ණ කළ වයිබර්, ඉදිරි කාලය තුළ පරිශීලකයින්ගේ ජීවන රටාවට අදාළ සියලු අංග ආවරණය කරන පුළුල් ඇප් මෘදුකාංගයක් බවට පත්වීමට මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ. එහිදී වයිබර් හඳුන්වා දෙන Chatbot Payments විශේෂාංගය හරහා වැඩි ආරක්ෂාවක් සමඟින් තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමේ හැකියාව වයිබර් පරිශීලකයින්ට උදා වනු ඇත.

Visits: 39