සුරැකුම්පත් කොමිසමෙන් කොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්

ලැයිස්තුගත සමාගම්වල කොටස් සම්බන්ධයෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුළ පදනම් විරහිත කොටස් තොරතුරු වාර්තා වන බවත්, මේ හරහා නොමඟයවන සුළු වෙළෙඳ පොළක් නිර්මාණය වී ආයෝජකයන් අපහසුතාවයට පත්වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිවේදනයක් මගින් අනතුරු අඟවා සිටියි.

ඒ අනුව ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයෝජකයින්ට තවදුරටත් උපදෙස් දෙනු ලබන බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය.

ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස්  බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ  යූ ටියුබ් ආදී  සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව ලැයිස්තුගත සමාගම්වලට අදාළ කොටස් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නිර්දේශ කිරීම, අපේක්ෂිත මිල ගණන් සඳහන් කිරීම සහ ලයිස්තුගත සමාගම්වලට අදාළව නොමඟ යවන / වැරදි තොරතුරු සැපයීම සහ එවැනි කොටස්වල ගනුදෙනු කිරීමට පොළඹ වන ආකාරයෙන්  මෙම පණිවුඩ ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත යොමු කර ඇති බවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනුවත් වී ඇත.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙවැනි කටයුතු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති අතර එවැනි නොමඟ යවන ආකාරයේ තොරතුරු සංසරණය කිරීමට සැළැස්වීම ආයෝජකයින්ගේ සුභසිද්ධියට අහිතකර වනවා පමණක් නොව සුරැකුම්පත් වෙළෙඳපොළේ අවංකභාවයට ද අහිතකර ලෙස බලපායි. මෙම සමහර පණිවිඩ  ව්‍යාජ හා නොමඟයවනසුළු වෙළෙඳපොළක් ඇති කිරීමක් හා සමාන වේ.

ඒ අනුව, කෙටි පණිවුඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එවැනි පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් මත විශ්වාසය නොතබන ලෙස සියලුම ආයෝජකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙයින් උපදෙස් දෙනු ලබයි/ අනතුරු හඟවයි.

එමෙන්ම සුරැකුම්පත් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයෝජකයින්ට තවදුරටත් උපදෙස් දෙනු ලැබේ.

Visits: 589