කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව ලෙස HNB සම්මාන ලබයි

කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ බව පවසයි. එසේම HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා “අපගේ ගනුදෙනුකරුවන්ට අපව වඩාත්ම අවශ්‍යම වූ මෙවැනි තීරණාත්මක මොහොතක බැංකුවේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා විශිෂ්ට ලෙස වූ මගේ කාර්ය මණ්ඩලයට මා ණයගැතියි. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඩිජිටල් බැංකුකරණ සේවා වෙත කඩිනමින් මාරු වීම සඳහා සියලුම ගනුදෙනුකාරභවතුන්ට අපගේ සහාය ලබා දෙන අතරතුර මෙම කාලය තුළ උපායමාර්ගිව අප වැඩි වශයෙන් අවධානය යොමු කළේ කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයින්ට අත්‍යවශ්‍ය සහාය ලබා දීමටයි.” යනුවෙන් පැවසුවේය.

“මේ සියලු ප්‍රයත්නයන් ඉතා සාර්ථක වීම ගැන අපට ආඩම්බරයි. ජාතියක් ලෙස අපට ඉදිරියට යාමට ඇත්තේ ඉතා අසීරු ගමනක් නමුත් අප එක්ව වැඩ කළහොත් අපට ඕනෑම අභියෝගයක් ජය ගැනීමට සහ ජාතික ආර්ථිකයට වැදගත් ප්‍රධාන ක්ෂේත්‍රවල පහළ මට්ටමේ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහාය විය හැකි යැයි අප සුබවාදීව සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවද කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යවසායන් 85,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දීමට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව සෞභාග්‍යා පුනරුද ණය යෝජනා ක්‍රම යටතේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 24ක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සලසා දීමට ද HNB කටයුතු කර ඇත. එමෙන්ම මහ බැංකුවේ සෞභාග්‍යා අරමුදලෙන් ලබා දෙන ණය මුදල ලබා ගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීම සඳහා HNB තමන්ටම අයත් රුපියල් බිලියන 5ක කොවිඩ් සහන අභ්‍යන්තර අරමුදලක් පිහිටුවීමට ද කටයුතු කිරීම විශේෂයෙන් කැපී පෙනේ.

මීට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප්‍රදානයක් ලබා දීමේ වැඩසටහනක් ද HNB මෑතකදී හඳුන්වා දෙන ලදී.  දැනට පවත්නා කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සිය ව්‍යාපාර නැවත නගා සිටුවීමට මෙම ප්‍රදානය මගින් හැකි වනු ඇත.

අනාගතයට සූදානම් වෙමින් සහ ඩිජිටල්කරණයට කල්තියා හැඩගැසීම කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කිරීම නිසා සමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශයන් පිළිපදිමින් ගනුදෙනුකරුවන්ට සහාය වීමට බැංකුවට හැකි විය. මේ වන විට වැඩි දියුණු කරමින් පවතින ඉ-බැංකුකරණ වේදිකාව හරහා ඕනෑම ස්ථානයක සිට බැංකු ශේෂය විමසීම, බිල්පත් ගෙවීම්, මුදල් හුවමාරු කිරීම්, ස්ථාවර තැන්පතු ආරම්භ කිරීම වැනි ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ එදිනෙදා ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ද HNB ලබා දෙන ලදී. මෙම සහාය බැංකුවේ 24«7 පුරා ක්‍රියාත්මක සබඳතා මධ්‍යස්ථාන හරහා අඛණ්ඩව ලබා දෙයි.

මීට අමතරව MOMO, QR කේත මත පදනම් වූ ගෙවීම් යෙදවුමක් වන SOLO සහ අන්තර්ජාල ගෙවීමේ වේදිකාව ඇතුළුව බැංකුවේ ඩිජිටල් ගෙවීමේ විකල්ප ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීම සඳහා ආරක්ෂිතව හා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු භාරගැනීමේ හැකියාව ලබා දීම HNB සිදු කළ තවත් එක් කාලෝචිත පියවරක් ලෙස දැක්විය හැකිය. තවද අඟුළු දැමීම මධ්‍යයේ හඳුන්වා දුන් බැංකුවේ AppiGo විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව සමඟ සම්බන්ධ වීම මගින් ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව ඉ-වානිජ්‍ය (e-commerce) හැකියාවන් පිහිටුවීමට අවස්ථාව ලබා දෙයි.

සියලුම පාර්ශවකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීම බැංකුවේ එක් ප්‍රමුඛතාවකි. එනිසා අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති සෞඛ්‍ය පියවරයන් සම්පූර්ණයෙන් පිළිපැදීමට HNB අඛණ්ඩව කටයුතු කරයි.

 2016-2018 කාලය තුළ බැංකුව ප්‍රකට කළ කාර්යසාධනය උදෙසා 2019 දී ඒෂියන් බෑන්කර් සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය මෙන්ම බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘CEO Leadership Achievement’ සම්මානය ද පිරිනමන ලදී. එමෙන්ම ජයග්‍රාහී 11වන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2018 awards ceremony) HNB සම්මානයට පාත්‍ර විය. සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක්‍රියාවලීන් හා මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් HNB වෙත මෙම සම්මානය පිරිනමන ලදී.

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. බැංකුව අඛණ්ඩව දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් විශේෂ සම්මානයන්ට පාත්‍ර වී ඇති අතර මෑතකදී LMD සඟරාව මගින් පළමුවරට ඉදිරිපත් කළ 2019/20 දී මෙරට තුළ වඩාත් සම්මානයට පාත්‍ර වූ (Most Awarded) සමාගම් 50 ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයට HNB පත් විය. එමෙන්ම ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB නම් කරන ලද අතර බිස්නස් ටුඩේ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 10 (Business Today Top 10) අතරට සහ CIMA සහ ICCSL විසින් මෙරට ‘වඩාත්ම ගෞරවනීය සමාගම් 10’ අතරට ද HNB ශ්‍රේණිගත කර ඇත.

Visits: 40