රු.බිලියන 3ක අලෙවිය ‘ලංකා ටයිල්ස් පීඑල්සී’ නොව ‘ලංකාටයිල්ස්’ සන්නාමයේලු

පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු, ලංකා ටයිල්ස් සමාගම 2020 දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 3ක අලෙවියක් වාර්තා කළ බවට අදාළ පුවත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීමට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වන ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම ප්‍රචාරයේ සඳහන් ආකාරයට 2020 දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 3ක අලෙවියක් වාර්තා කළේ සිය ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම නොව එය ලංකාටයිල්ස් සන්නාමය පෙන්නුම් කළ කාර්යසාධනයක් බව සමාගම් දෙකම පවසයි.

එහිදී මෙම ‘ලංකාටයිල්ස්’ සන්නාමය ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම මෙන්ම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමද පොදුවේ යොදා ගන්නා සන්නායක් බව එම සමාගම් පවසයි. එසේම අදාළ සමාගම් දෙක හරහා  නිපදවන නිෂ්පාදන මෙන්ම තෙවැනි පාර්ශ්වයක් මගින් සිදු කරන සමාගම් දෙක මගින් අලෙවි කරන නිෂ්පාදනද පොදුවේ එම සන්නාමයෙන් හඳුන්වන බවත් සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ලබාගත් මෙම රුපියල් බිලියන 3ක පිරිවැටුම ලංකා ටයිල්ස් පීඑල්සී වෙත හෝ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී වෙත බැර කළ නොහැකි බවත්, එය ‘ලංකාටයිල්ස්’ සන්නාමය සතු බවත් සමාගම් අවධාරණය කරයි.

Visits: 856