ඉන්දියාව නිපදවූ Covishield එන්නත් ලක්ෂ 5ක් ළගදීම මෙරටට

COVID-19 වෛරසයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව නිපදවා ඇති එන්නතේ ඉන්දීය සංස්කරණය වන Covishield එන්නත් ලක්ෂ 5ක් මෙරටට ලබා දීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් ආයතනය මගින් මෙම එන්නත නිපදවා තිබේ. ඒ අනුව ඉදිරි සතියේදී විශේෂ ගුවන් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

දැනටමත් ඉන්දියාව මෙම එන්නත් දස දහස් ගණනක් රටවල් ගණනාවක් වෙත බෙදාහැර ඇත. ඒ අනුව අසල්වැසියන්ට ප්‍රමුඛතාව ලබා දීමේ ප්‍රතිපත්තිය අනුව භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් දූපත් ඇතුළු රාජ්‍යයන් වෙත මෙම එන්නත් ප්‍රදානයන් ලෙස ලබා දී තිබේ.

මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වන මාධ්‍ය සඳහන් කරන ආකාරයට දැනටමත් රජය චීනයේ COVID-19 එන්නතක් සහ රුසියාවේ SputnikV එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහාද සාකච්ඡාකර තිබේ. ඒවාද ප්‍රදානයන් ලෙස මෙරටට හිමිවීමට නියමිතව ඇතැයිද පැවසෙයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම එන්නත් සම්බන්ධයෙන් සඳහන් කරමින් ලිපියක්ද රුසියානු  ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලිපියක් යවා ඇතැයි පැවසෙයි.

Visits: 151