අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරූ විශේෂ බලයෙන් අතරමග නතර වූ ව්‍යපෘති යළි ඇරඹෙයි

කොළඹ නගරයේ ඉදිකිරීම් සිදුකර අතරමග නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීමේ විශේෂ බලය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාට පිරිනැමීමක්ද සිදුව තිබේ.

පසුගිය ආණ්ඩුව කාලයේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රබල කඩාවැටීමක් තිබුණු බවත් ඇතැම් කාන්ත්‍රාත්කරුවන් ඇතැම් ගොඩනැගිලි ඉදිකිරිම අතරමග නතරකොට ඇති නිසා එම නිවාස ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කෙරුණු ජනතාව අසීරුතාවයට පත්ව ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම තත්ත්වය කඩිනමින් වෙනස් කොට අතරමග නතර කර ඇති මෙම ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එම උපදෙස් අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු කිහිපයක්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වී තිබේ.

ඒ අතරින් පසුගිය කාලයේ ආරම්භ කර අඩක් නිමකර වැඩ නතර කර තිබූ කොළඹ කොම්පඤ්ඤවීදීය දුම්රිය ස්ථානය අසල ඉඩමක පිහිටි මහල් නිවාස ඒකකයක් මෙලෙස යළි කටයුතු ආරම්භ කිරිම සඳහා තෝරා ගෙන තිබේ. ඩෙස්ටනී නිවාස ව්‍යාපෘතිය නමින් හැඳින්වෙන මෙහි නිවාස 300 ක් තිබෙන අතර, එම නිවාස සියල්ලම ඒවයේ හිමිකරුවන් මුදල් ගෙවා තිබූ බවත් පැවසෙයි.

ඒ අනුව මෙම  මාධ්‍ය හමුවේදී අදහස් දක්වා ඇති අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා, මෙම නිවාස වෙනුවෙන් මුදල් ගෙවා තිබෙන සියලුම දෙනාට එම නිවාසවල ඉදිකිරීම් අවසන් කර ලබා දීමට කටයුතු කරන බව පවසා ති‍බේ.

“මෙම මහල් නිවාස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටිය දී ඉදිකිරීමට තීරණය කළ නිවාස ව්‍යාපෘතියක්. ඊට පසු ඇති වූ දේශපාලන පෙරළීම් මත මෙහි වැඩ කටයුතු නතර වුණා. ඉන් පාඩුව සිදුවූයේ මෙම නිවාසවල පදිංචිවීමට බලාපොරොත්තුව සිටි අයට මිස වෙනත් කිසිවෙකුටත් නෙමෙයි. ඉදිරි වසර තුළ කඩිනමින් මෙම නිවාස 300 සාදා නිමකර එහි හිමිකරුවන්ට ලබා දෙනවා. වැඩ නතර කර තිබී යළි වැඩ අරඹන ඉදිකිරීම් සඳහා බලය ලත් නිලධරයා ලෙස ජනාධිපතිතුමා විසින් මාව පත් කළා. එතුමාගේ එම විශ්වාසය රකිමින් මෙහි වැඩ කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුදු ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සමඟ වැඩ කිරීමෙන් මෙම කටයුත්ත ඉතාමත් ඉක්මණින් ඉටු කර ගත හැකි වෙනවා.” යනුවෙන්ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ඩෙස්ටනි නිවාස යෝජනා ක්‍රමයේ ආයෝජන සමාගම වන ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගම සමඟ සාකච්ඡා කොට පැවති ගැටළු මගහරවා ගනිමින් MAGA ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත වසර දෙකකින් අවසන් කිරීමේ පදනම මත ඉදිරි වැඩ සඳහා කොන්ත්‍රාත්තුවද එදින පිරිනැමීම සිදුව තිබේ.

Visits: 79