ලාභාංශ ගෙවීමට මහ බැංකුවෙන් වාණිජ බැංකු වෙත අවසර – ජූනි අවසන් වන තෙක් වියදම් සීමා කරන්නත් කියයි

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍ර ලාභී විශේෂිත බැංකු සඳහා සිය වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබූ ලාභාංශ නොගෙවීමේ නියෝගය ආපසු හැරවීමට තීරණය කර ඇතැයි මහ බැංකුව පවසයි. පසුගිය ජනවාරි 19 වැනිදා මහ බැංකුව මගින් බැංකු වෙත නිකුත් කළ චක්‍රලේඛයක මේ බව සඳහන් වෙයි.

ඒ අනුව කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමගින්ම බැංකු පද්ධතිය වෙත එල්ල විය හැකි බලපෑම සලකා බලමින් එහි ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධන අවශ්‍යතාවන් ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස 2020 මැයි මාසයේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බැංකු වෙත සිය ලාභාංශ ගෙවීම අත්හිටුවන ලෙස පවසා තිබූ නියෝගය මෙලෙස ඉවත් කර ගෙන තිබේ. මෙම නියෝගය 2020 දෙසැම්බර් අවසන් වන තෙක් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් මෙම ද්‍රවශීලතාව වෙත එල්ල  විය හැකි බලපෑම සහ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු මගින් පෙන්නුම් කර තිබෙන සාර්ථකත්වයන් පිළිබඳව සලකා බලා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව බැංකුවේ අභ්‍යන්තර විගණනකරුවන් විසින් සකස් කළ සහ විගණනය කරන ලද 2020 වසර සඳහා වන බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයට අනුව මෙම ලාභාංශ ගෙවීමේ හැකියාව ලැබෙයි.

එහිදී මෙරට සංස්ථාපිත හෝ පිහිටුවා ඇති සෑම බලපත්‍ර ලාභී වාණිජ බැංකුවක් වෙතම මේ සඳහා අවස්ථාව පවතින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කළ මෙම චක්‍රලේඛය තුළ සඳහන් වෙයි.

මේ තත්ත්වයත් සමගින්ම ලබන පෙබරවාරි මාසයේ සිට බැංකු වෙත සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමේ අවස්ථාව උදා වන බවත්, ඒ හරහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු සතු කොටස්වල වටිනාකම්ද කැපී පෙනෙන ලෙස ඉහළ යාමේ අවස්ථාවක් පවතින බවත් වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ සඳහන් කරති.

මේ අතර බැංකු විසින් ඉදිරියටත් බාසෙල් III නියමයන්ට අනුකූලව සිය වත්කම් වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම ඇතුළු කාරණාවලට අමතරව සිය ප්‍රාග්ධන අවශ්‍යතා එලෙසින්ම පවත්වාගෙන යාම අනිවාර්යය බවත් මහ බැංකුව අවධාරණය කර සිටියි.

ඒ අනුව මෙම තත්ත්වය පවත්වාගෙන යාම සඳහා බැංකු විසින් ලබන ජූනි 30 වැනිදා දක්වා ගතයුතු පියවර කිහිපයක්ද මහ බැංකුව මෙහිදී ඉදිරිපත් කරයි.

ඒ අනුව මෙම වාණිජ බැංකු විසින් සිය කොටස්  තමන් විසින්ම මිලදී ගැනීමක් සිදු නොකළ යුතු බව මහ බැංකුව පවසයි. එසේම බැංකු විසින් සිය කළමනාකරුවන්ගේ දීමනා සහ අධ්‍යක්මණ්ඩලයේ ගෙවීම් ඉහළ නොදැමිය යුතු බවද මෙහිදී අවධාරණ කර තිබේ. මීට අමතරව අත්‍යවශ්‍ය නොවන වියදම් වන දැන්වීම් සඳහා වන වියදම්, ව්‍යාපාර ප්‍රවර්ධන, තෑගි ලබාදීම්, විනෝදාස්වාදන, අනුග්‍රාහකත්වය දැන්වීම්, සංචාරයේ යෙදීම් සහ පුහුණුකිරීම් යනාදිය නැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 1187