ධම්මික පෙරේරාගේ සමාගම් 14ක් කොටස් අතුරු බෙදීම් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් සමාගම් 14ක් අද දිනයේදී සිය ලැයිස්තුගත කොටස් අතුරුබෙදීම් සිදු කරන බව නිවේදනය කර සිටියි.  මෙම සමාගම් සියල්ලම මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩි කොටස් හිමිකාරීත්වය සහිත සමාගම්වීමද විශේෂත්වයකි.

ඒ අනුව අමායා ලෙෂර් පීඑල්සී සමාගම, කිංග්ස්බරි පීඑල්සී, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී, සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී, යුනිසිස්ට් ඉන්ජිනියරිං පීඑල්සී, කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී, රෙග්නිස් (ලංකා) පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, හේලීස් ෆයිබර් පීඑල්සී, හේලීස් ෆැබ්රික් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, හේලීස් පීඑල්සී යන සමාගම් මෙලෙස කොටස් අතුරු බෙදීම් නිවේදනය කර තිබේ.

මෙලෙස එක් අවස්ථාවකදී සමාගම් 14ක් සිය කොටස් අතුරු බෙදීමක් සිදු කිරිමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා අප කොළඹ කොටස්  හුවමාරුවෙහි ප්‍රවීණයෙකුගෙන් අදහස් විමසා සිටි අතර, මෙම නිවේදනයන්ද සමගින් අද දිනය කොළඹ කොටස් හුවමාරුව සඳහා සුවිශේෂී දිනයක් බවට පත්වීමේ වැඩි ඉඩක් ඇතැයි පවසා සිටියේය.

&මේ සමාගම් සිට කොටස් අතුරු බෙදීම් පිළිබඳ නිවේදනය කිරීමත් සමගින්ම ඒවායේ කොටස් වටිනාකම් අනිවාර්යයනේම ඉහළ  යනවා. ඒ නිසා අද දිනය කොළඹ කොටස් හුවමාරුවට සුවිශේෂී දිනයක් වේවි. කොහොම වුණත් මේ අතුරු බෙදීම හරහා අලුතින් නිකුත් කරන ‍කොටස් මිලදී ගැනීමට අවස්ථාව ලැබීම ආයෝජකයන්ට ඉතාමත් හොඳ දෙයක්. මොකද මේ සමාගම් සියල්ලම ඉතාමත් හොඳින් ගනුදෙනු වන කොටස් සහිත සමාගම්.* යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

මෙම සමාගම් සිය කොටස් අතුරු බෙදීම සිදුකරන දිනයක් පිළිබඳව අනාවරණය කර නොමැති අතර, ඇතැම් සමාගම්වල ක්‍රමවේදය අනුව මෙවැනි කොටස් අතුරු බෙදීමක් සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොමැති බවත් පවසා සිටියි. එහෙත් ඇතැම් සමාගම්වලට මෙම කොටස් අතුරු බෙදීම සඳහා කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය බව පැවසෙයි.

Visits: 1794