පහත වැටුනු දර්ශක අගයන් හේලීස් සමූහයේ දායකත්වයෙන් යළි ඉහළට

අද දිනයේදී (ජනවාරි 20) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු තුළදී ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ඉපැයීම් වෙත යොමු වීම නිසා දර්ශක අගයන් පහත වැටීමක් පෙන්නුම් කළත් පසුව එය යථා තත්ත්වයට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විහිදී විශේෂයෙන්ම බැංකු සහ හේලීස්, වැලිබල්, එල්බී යන සමාගම්වල කොටස් සඳහා වූ ඉල්ලුම ඉහළ යාම ඊට හේතුවී තිබේ. එසේම අඩු වටිනාකම් යටතේ සිදු වුණු ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස්හි විශාල ගනුදෙනුද දර්ශක අගයන් ඉහළයාමට හේතු වී ඇතැයිම එම සමාගම් පවසයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,672.05ත් ඒකක 7,900.32 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,884.45 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 19) දිනයට සාපේක්ෂව ඒකක 75.48 ක් එනම් +0.97%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (ඡන්දහිමි), සෙලාන් බැංකුව, ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 124ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+13.73), වැලිබල් වන් පීඑල්සී VONE (+9.2), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+7.59),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.81), ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (+5.49),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-9.8),  එල්ඕඑල්සී පීඑල්සී  LOLC (-4.08),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී  BIL (-3.29), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.92), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.34)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,096.35 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 19) දිනයට සාපේක්ෂව ඒකක 37.32 ක එනම් +1.22%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.37ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 19දා) වාර්තා කළ රුපියල් බිලියන 11.42ට සාපේක්ෂව 18% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.45ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.41%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 124.55ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 774.19ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 649.64කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 2.89ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 89.79කි.  

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කැලනි ටයර් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7කි. එසේම  හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 218.31ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 2,900ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 31% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ හා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,817ක සහ රුපියල් මිලියන 1,059 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 115