ලක්ෂපාන බැටරි සමාගම සිය හිමිකම් නිකුතුවෙන් ලැබෙන මුදල් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සිය යෝජිත  හිමිකම් කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් එහි මූලික අරමුණ වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙත ආයෝජනයට පෙර රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

මෙම හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන් වෙත දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කරමින් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම කොටස් හිමිකම් නිකුතුව හරහා රැස් කරගන්නා රුපියල් මිලියන 540ක (540,000,000) මුදල ආසන්න වශයෙන් වාර්ෂිකව 5%ක ප්‍රතිලාභයක් ලැබෙන ලෙස රජයේ සුරැකුම්පත් තුළ ආයෝජනයට සැලසුම් කර ඇතැයි ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි.

පසුගිය නොවැම්බර් 18 වැනිදා ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ලබන පෙබරවාරි 10 වැනිදා මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කිරිමට නියමිතව ඇත. මෙහිදී නව සාමාන්‍ය කොටස් මිලියන 36ක් (36,000,000) නිකුත් කිරීමට සැලසුම් කර සිටියි. එහිදි එක් කොටසක් රුපියල් 15 බැගින් අලෙවි කරන අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 540 කි.

ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී දැනට ඔවුන් විසින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් 13ක් වෙනුවෙන් අලුතින් නව සාමාන්‍ය කොටස් 12ක් නිකුත් කිරීම සිදු කරයි.

සමාගම වියළි කෝෂ නිෂ්පාදනය අත්හිටුවීමෙන් අනතුරුව තිරසාර ව්‍යාපාරික ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා සිදු කරන කටයුත්ත වෙත අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කිරිමට සූදානමින් සිටියි.

ඒ අනුව මෙම නිකුතුව  හරහා ලැබෙන රුපියල මිලියන 540ක මුදල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර/සිය සමාගමේ ව්‍යපාර විවිධාංගීකරණය සහ පුළුල් කිරීම සඳහා වන ව්‍යාපෘති වෙත යොදා ගැනීම සැලසුම වී ඇත. ඒ අතරින් සමාගම මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය යටතේ වහල මත සවි කෙරෙන සූර්ය පැනල ව්‍යාපෘති වෙත අවධානය යොමු කර ඇතැයි පවසයි.

ඒ අනුව දැනටමත් මේ සඳහා වන ව්‍යාපෘතියක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම ව්‍යාපෘති අනුමත වීම සඳහා ගත වන මාස 18ක කාලයක් සඳහා මෙම මුදල් මෙලෙස රජයේ සුරැකුම්පත් තුළ ආයෝජනයට කටයුතු කරන බවත් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

සමාගම පවසන ආකාරයට මෙහිදී එම ව්‍යාපෘතිය අදියර තුනකින් යුක්තව ඉදිරිපත් කර ඇති අතර ඒවායින් නිපදවන විදුලි බලය මෙගාවොට් 10 කි. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1,125 කි.

ඉන් පළමු අදියර යටතේ මෙගාවොට් 1.5ක් නිපදවෙයි. දැනටමත් එහි තාක්ෂණික හැකියාව සම්පූර්ණ කර තිබේ. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය හිමිව යුතුව අතර ඉක්මණින්ම එහි කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටියි. එහිදී මෙම හිමිකම් නිකුතුවෙන් මාස තුනක් ඇතුලතදී ව්‍යාපෘතිය අවසන් කිරීම සැලසුම වී ඇති අතර ඒ සඳහා වන වියදම රුපියල් මිලියන 170 කි.

දෙවැනි අදියර යටතේ මෙගාවොට් 1.5ක විදුලියක් නිපදවෙන අතර එහිද තාක්ෂණික හැකියාව පිළිබඳ අධ්‍යයනය අවසන් කර ඇත. ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය සඳහා එහි ලියැවිලි ලබා දී තිබේ. හිමිකම් නිකුතුවෙන් මාස හයකට පසුව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කළ හැකි බව ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම පවසයි. එහි වියදම රුපියල් මිලියන 170 කි.

එසේම තෙවැනි අදියර යටතේ මෙගාවොට් 7ක විදුලියක් නිපදවෙයි. එහි මූලික ඇගයීම් අවසන් කර තිබෙන අතර, තාක්ෂණික හැකියාව පිළිබඳ අධ්‍යයනය සිදු කිරිමට නියමිතව ඇත. එහිදී මෙම තාක්ෂණික අධ්‍යයනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුව සිටියි. මෙම හිමිකම් නිකුතුවෙන් මාස 18ක් ඇතුලතදී මෙම ව්‍යාපෘතිය නිමා කළ  හැකි බව සමාගම පවසයි. මේ සඳහා වන වියදම රුපියල් මිලියන 785 කි.

ඒ අනුව මෙගාවොට් 10ක මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන රුපියල් මිලියන 1,125ක මුදලින් රුපියල් 540ක් මෙම හිමිකම් නිකුතුවෙන් ලබා ගන්නා බවත්, ඉතිරි රුපියල් මිලියන 585 ණයක් ලෙස ලබා ගන්නා බවත් ලක්ෂපාන බැටරීස් පීඑල්ස් සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 526