මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පත් කරගැනීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි. 2021 ජනවාරි 08 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙහිදී  මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා බැංකුවෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙලෙස පත් කෙරී ඇත.

චන්ද්‍රසිරි මහතා 2019 දෙසැමබර් මාසයේ සිට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

2009 වසරේ සිය යුද හමුදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ඒ මහතා ඒ මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස 2015 වසර දක්වා වසර පහමාරක කාලයක් ධුරය දරා තිබේ. එම කාලසීමාවේදී උතුරු පළාතේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා ඒ මහතා ඉමහත් දායකත්වයක් ලබා දුන් බව පැවසෙයි.

වසර 35 ක යුද හමුදා සේවය තුළදී ඒ මහතා යුද හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක්ම හොබවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔහුගේ සේවාව වෙනුවෙන් රණ වික්‍රම පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය මෙන්ම උත්තමසේවා පදක්කම යන පදක්කම්වලින්ද ඒ මහතා පිදුම් ලබා තිබේ. 2009 වසරේදී විශ්‍රාම යන අවස්ථාව වනවිට ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ධුරයද දැරුවේය.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සහ බංග්ලාදේශයේ  ආරක්ෂක සේවා නිලධාරී සහ කාර්ය මණ්ඩල විද්‍යාලයෙන් උපාධි හිමි කරගෙන ඇති චන්ද්‍රසිරි මහතා මේ වනවිට ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බවත් පවසයි.

ඒ අනුව අද වනවිට ලංකා බැංකුවෙහි අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ කාංචන රත්වත්ත (සභාපති), ආර්.එම්.පී. රත්නායක, හර්ෂ විජේවර්ධන (විධායක නොවන අධ්‍යක්ෂ), අනුර ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු ((විධායක නොවන අධ්‍යක්ෂ) සහ ජී.ඒ. චන්ද්‍රසිරි (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.

Visits: 180