පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් හිමිකම් නිකුතුවකට සූදානම් වන බව පවසයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පළමුවරට මෙම හිමිකම් නිකුතුව සිදු කිරිමට සැලසුම් කර තිබුණද, කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා එය කල් දැමීමට සිදු විය.

ඒ අනුව පසුගියදා රැස් වූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම හිමිකම් නිකුතුවේ  කොන්දේසි වෙනස් කරමින් යළිත් එය  ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා ඇතිව තිබෙන ආර්ථික සහ වෙළෙඳපොල තත්ත්වයන් සලකා බලමින් එම වෙනස් කම් සිදු කර තිබේ. එසේම මූලිකවම සිය සමාගම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අරමුණ බව සමාගම පවසයි.

මෙහිදී සමාගම මගින් ඡන්ද හිමි කොටස් මිලියන 115ක් (115,981,250ක්) නිකුත් කිරිම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට සමාගම සතු සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 20ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 11ක් වන ලෙස මෙම නිකුතුව සිදු කරන බව පැවසෙයි.

මෙම හිමිකම් කොටස් නිකුතුවේදී එක් කොටසක් රුපියල් 7.00 ක මුදලකට නිකුත් කිරීමට පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පියවර ගෙන ඇති අතර, ඒ හරහා සම්පාදනය කරගන්නා සමස්ත මුදල රුපියල් මිලියන 811ක් (811,868,750ක්) වන බවත් සමාගම පවසයි.

විශේෂයෙන්ම  බැංකු නොවන මූල්‍ය ආයතන මගින් 2021 වසර අවසන් වීමට පෙරාතුව පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලබා දී ඇති රෙගුලාසි වෙත අනුකූලතාව දැක්වීම සඳහා මෙලෙස හිමිකම් නිකුතුව හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට සමාගම අපේක්ෂා කර සිටියි.

2020 පෙබරවාරි 28 වැනිදා  පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදුකළ හිමිකම් නිකුතුවට අදාළ නිවේදනය තුළ අලුතින් සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 101,220,000ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 25ක් සඳහාම අලුතින් කොටස් 12ක් නිකුත් කෙරෙන බව සමාගම සඳහන් කර තිබුණි. එම අවස්ථාවේදී එක් කොටස මිල රුපියල් 8.00 ක් විය. ඒ අනුව රැස් කරගැනීම අපේක්ෂා කර තිබූ සමස්ත මුදල රුපියල් මිලියන 809 කි (809,760,000කි)

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවෙහි පරිපාලිත සමාගමකි. සමාගම පවසන ආකාරයට අද වන විට සමාගම සතු ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.4 කි ( 2,440,290,000කි)

මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා වන අනුමැතිය කොළඹ කොස් හුවමාරුව වෙතින් ලැබීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් මගින් මේ සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 443