කොටස් අතුරු බෙදීම නිසා E.B Creasy & Company PLC කොටස් ගනුදෙනු දින තුනකට අත්හිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන E.B Creasy & Company PLC සමාගමේ කොටස් ගනුදෙනු ලබන පෙබරවාරි 03 වැනිදා සිට 08 වැනිදා දක්වා දින තුනක කාලයකට (එම දින දෙකද ඇතුළත්ව) අත්හිටුවන බව එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

සමාගම මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන සිය කොටස් අතුරු බෙදීම හේතුවෙන් සමාගම මෙම තීරණය ගෙන තිබේ. දැනටමත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම කොටස් අතුරු බෙදීම සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇත. එසේම ලබන පෙබරවාරි 02 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමේදී එහි කොටස් හිමිකරුවන්ගෙන් ඒ සඳහා අනුමැතිය හිමි වන බවත් සමාගම පවසයි. අන්තර්ජාලය හරහා පැවැත්වෙන හමුවක් ලෙස මෙය සංවිධානය වෙයි.

E.B Creasy & Company PLC සමාගම සඳහන් කරන ආකාරයට මෙම කොටස් අතුරු බෙදීමේදී සමාගම සතුව දැනට ඇති සෑම සාමාන්‍ය කොටස් 01 කටම අලුතින් සාමාන්‍ය කොටස් 100ක් හිමි වන ලෙස කොටස් නිකුත් කිරීමක් සිදු වෙයි. ඒ අනුව  දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව වන 2,535,458 මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කොටස් 253,545,800ක්  බවට පත්වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙම අතුරු බෙදීම හේතුවෙන් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බවත් එය රුපියල් 25,730,205ක් ලෙස එලෙසින්ම පවතින බවත් E.B Creasy & Company PLC  සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

එසේම මෙම අතුරු බෙදීම හේතුවක් කරගනිමින් දැනට සිටින සියලුම කොටස් හිමිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනස් නොවන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී දින තුනක කාලයකට සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවන්නේ, අදාළ අතුරු බෙදීම හරහා සිදුවන කොටස් හිමිකරුවන්ගේ කොටස් ප්‍රමාණයන්ගේ වෙනස්කම් සම්බන්ධයෙන් ලේඛන යාවත්කාලීන කිරීමට සහ මධ්‍යම තැන්පත් පද්ධතියේ දත්ත යාවත්කාලීන කිරිම සඳහා බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

එසේම මෙම යෝජිත අතුරු බෙදීම හරහා ඉහළ  යන කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදුවන දින තුනක් ඇතුළතදී මධ්‍යම තැන්පතු ගිණුම් හිමියන්ගේ ගිණුම් වෙත ඍජුවම ගිණුම්ගත වන ලෙස කටයුතු යොදන බවත් සමාගම පවසයි.

ඒ අනුව 2021 පෙබරවාරි 09 වැනිදා සිට සමාගමේ කොටස් ගනුදෙනු පෙරපරිදිම යළිත් ආරම්භ කෙරෙන බවත් E.B Creasy & Company PLC සමාගම කොටස්හිමිකරුවන් වෙත දන්වා සිටියි.

1878 වසරේදී එඩ්වර්ඩ් බෙනට් ක්‍රීසි ගේ මූලිකත්වයෙන් පිහිටවුණු E.B Creasy & සමාගම 1968 වසරේදී මෙරට කොටස් හුවමාරුව හා සම්බන්ධ වී ඇත. අද වනවිට ගෘහස්ත ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පෞද්ගලික සනීපාරක්ෂාව, ආහාර, බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන, මෝටර් රථ උපාංග සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පුරා සමාගම විහිදී ඇත.

ඩාර්ලි බට්ලර් සහ සමාගම, ක්‍රීසි ෆුඩ්ස් සමාගම, ලක්ෂපාන  බැටරීස් පීඑල්සී, ඊබී ක්‍රීසි ලොජිස්ටික්ස් සමාගම, මුලර් ඇන්ඩ් ෆිලිප්ස් (සිලෝන්) පීඑල්සී, ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම සහ ලංකෙම් සිලෝන් පීඑල්සී යන සමාගම් E.B Creasy & Company PLC සමාගමේ පරිපාලිත සමාගම් ලෙස ක්‍රියාත්මක වෙයි.

Visits: 612