ASPI අගය 7,500 ට සමීප වෙයි

අද දිනයේදී (ජනවාරි 13) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී පෙර දින කිහිපයේදී පැවැති ආයෝජන ආකර්ෂණය තවදුරටත් ඉහළ යාම පෙන්නුම් කරමින් වෙළෙඳපොළ තුළ ඉහළ ගැනුම්බරතාවක් දක්නට ලැබුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මෙතෙක් දිනක් ඉහළ ගිය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් වටිනාකම් පහත වැටෙද්දී එක්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ එල්ඕඑල්සී පීඑල්සී යන සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාම සිදු විය.

මෙම ගනුදෙනුද සමගින් අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7,500 සීමාවට ලගා වීමක්ද පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම අද දිනය තුළදී කොළඹ කොටස් හුවමාරුවෙහි මෙතෙක් වාර්තා කළ දෛනික ඉහළම ගනුදෙනු ප්‍රමාණයද වාර්තා විය. මේ අතර දිනයේ ගනුදෙනුවලදී විදේශීය ආයෝජක සමාගම් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සම්බන්ධයෙන් පෙන්නුම් කරන ධනාත්මක නැඹුරුවද දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.     

ඒ අනුව අද දිනයේදී ඒකක 7,355.46ත් ඒකක 7,481.24 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,443.23 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 12) දිනයට සාපේක්ෂව ඒකක 160.99 ක් එනම් +2.21%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, හේමාස් හෝල්ඩිංග්ස් පීල්සී, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සහ වටවල ප්ලාන්ට්ෂෙන්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 3%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 120ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+25.49), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+20.43), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+17.12),  එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+13.21), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+9.05),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.29),  සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-3.23),  ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී  AHPL (-1.82), යුනියන් බැංකුව UBC (-1.74), සම්පත් බැංකුව SAMP (-1.53)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,782.17 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 12) දිනයට සාපේක්ෂව ඒකක 39.76 ක එනම් +1.45%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.06ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 12දා) වාර්තා කළ රුපියල් බිලියන 8.59ට සාපේක්ෂව 6% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.25ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.90%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 215.24ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 446.61ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 195.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.40ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 205.2කි.  

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.4කි. එසේම සීටී හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 97.4ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 1,774ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 20% ක අගයක් ගෙන තිබේ. පාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,762ක සහ රුපියල් මිලියන 1,734දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 286