සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස් කෙරේ

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබා දෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් කිරිමට අගමැතිවරයා පියවර ගෙන ඇතැයි පවසයි.

පසුගියදා එම කර්මාන්තයේ නිරත පිරිස් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවට අදාළව අදාළ අමාත්‍යංශවල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හා බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් එක්ව අද දිනයේ මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වේ. එසේම 2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද සියයට 7.5ක් දක්වා අඩු කිරීමට ද එහිදී අනුමැතිය දී තිබේ.

මේ දක්වා සියයට 5 සිට සියයට 25 දක්වා විවිධ ප්‍රතිශත යටතේ රට පුරා පළාත් පාලන ආයතන විසින් විනෝද බද්ද අය කරනු ලැබීය. මෙම නව අනුමැතිය සමඟ මුළු රටටම එක් විනෝද බද්දක් හඳුන්වාදීම ද සිදුවීමට නියමිතව ඇත.

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදය නියෝජනය කරමින් කලාකරුවන් රැසක් පසුගිය 08 වැනිදා අග්‍රාමාත්‍යතුමා හමුවී කොවිඩ් -19 අර්බුධය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි පෙන්වා දී තිබේ.

Visits: 54