බ්‍රවුන්ස් සහ එක්ස්පෝ ලංකා දිනයේ ගනුදෙනු සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙයි

අද දිනයේදී (ජනවාරි 11) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිට වඩා ඉහළ ගැනුම්භරතාවක් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී වැනි ඉහළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් දිනයේ ගනුදෙනු සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇත. එසේම අද දිනයේදී ටයිල් අංශය ඇතුළු නිෂ්පාදන අංශයේ සමාගම් තුළ ධනාත්මක ප්‍රවණතාවක් දැක් වූ බවද මෙම කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම සමාගම් කිහිපයකදීම ලාභ ඉපැයීමක්ද ආයෝජකයන් අතර දැකගත හැකි විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,132.81ත් ඒකක 7,222.65ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,203.63 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 08) දිනයට සාපේක්ෂව ඒකක 84.10 ක් එනම් +1.18%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඒෂියා කැපිටල් පීඑල්සී, කලම්බු ෆෝර්ට් ඇන්ඩ් ලෑන්ඩ් පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ්  ශ්‍රී ලංකා යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 6%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 72ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 110ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+23.01), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+19.23), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+17.34),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+9.77),  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+5.44),  එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-3.05),  කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-2.65),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී  MELS (-2.13), ලයන්  බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.83), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-1.4)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,730.85 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 08) දිනයට සාපේක්ෂව ඒකක 25.98 ක එනම් +0.96%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.76ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 08දා) වාර්තා කළ රුපියල් බිලියන 6.17ට සාපේක්ෂව 26% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.15 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.36%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 311.98ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 494.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 182.72කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.15ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 224.19කි. (ඒ අතරින් ඒෂියා කැපිටල් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනුව රුපියල් මිලියන 160කි)

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 17.49කි. එසේම සීටී හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 208.28ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 2,277ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,480ක සහ රුපියල් මිලියන 1,215ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 235