CSEහි ලැයිස්තුගත එහෙත් ගනුදෙනු අක්‍රිය සමාගම් සඳහා ඉල්ලුම ඉහළට?

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත එහෙත් අද වනවිට ගනුදෙනු සිදු නොකරන සමාගම් (Shell Companies) සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව වාර්තා පවසයි.

එහිදී විශේෂයෙන්ම මූලික කොටස් නිකුතුවකින් තොරව කොළඹ කොටස් හුවමාරුව හරහා සිය ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමේ අරමුණ සහිත සමාගම් වෙතින් මෙම ඉල්ලුම හට ගෙන ඇතැයි මේ පිළිබඳව වාර්තාවක් ගෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

අද වනවිට කොළඹ කොටස් හුවමාරුව තුළ මෙවැනි ලැයිස්තුගත එහෙත් තම ගනුදෙනු විශාල වශයෙන් අත්හිටුවා ඇති සමාගම් රැසක්ම හඳුනාගත හැකි බව කොටස්  හුවමාරුවේ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සඳහන් කරයි. ඒ අනුව දැනටමත් ලැයිස්තුගතව සිටින මෙම සමාගම් උපයෝගී කරගනිමින් තවත් සමාගම් වෙත සංකීර්ණ පියවර රැසකින් සමන්විත සාම්ප්‍රදායික මූලික කොටස් නිකුතුවකින් තොරව, කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධනය රැස් කරගැනීමේ අවස්ථාව පවතී.

“මෙවැනි සමාගම් වෙත ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ඍජුවම ප්‍රවිශ්ටවීමේ අවස්ථාව උදා වෙනවා. එවැනි සමාගමක් මිලදී ගැනීම කොටස් හුවමාරුව හරහා ගනුදෙනු ආරම්භ කරමින් තම ව්‍යාපාර වෙත අරමුදල් රැස් කරගැනීම සඳහා මෙවැනි පෞද්ගලික සමාගම් වෙත ඇති වඩාත් ලාභදායීම ක්‍රමවේද අතරින් එකක්.” එම කොටස් තැරැව්කරුවා පුවත්පත වෙත පවසා ඇත.

විශේෂයෙන්ම අද වනවිට පෞද්ගලික සමාගම් කිහිපයක්ම ක්ෂණික ප්‍රාග්ධන රැස් කරගැනීමේ අවශ්‍යතාවලින් පෙලෙන බවත්, මෙලෙස ලැයිස්තුගත සමාගමක් හා සම්බන්දවීම මෙම සමාගම් වෙත වෙළෙඳ පොළ  හරහා ප්‍රාග්ධනය රැස් කරගැනීමේ ඇති වේගවත්ම මාර්ගය ලෙසටත් හැඳින්විය හැකි බව පුවත්පත වෙත අදහස් දක්වා ඇති තවත් තැරැව්කරුවෙකු සඳහන් කර ඇත.

“2011-2013 කාලයේදී මෙවැනි සමාගම් වෙත ඉහළ ඉල්ලුමක් තිබුණා. දැන් එම ප්‍රවණතාවය යළිත් මතුවෙමින් තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර බොහෝ විදේශීය ව්‍යාපාර රැසක්ම මෙලෙස දැනට මෙරට තුළ ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන බවත් තවත් කොටස් තැරැව්කරුවෙකු පුවත්පතට පවසා තිබේ. “ඔවුන් මෙතැනදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මෙවැනි කුඩා ප්‍රමාණයේ අත්හැරදැමුණු සමාගම්. මොකද ඒවා එතරම් මිල වැඩි නැහැ.” 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මෙම තැරැව්කරුවා, සිය සමාගම හා සම්බන්ධව කටයුතු කරන විදේශීය සමාගම් කිහිපයක්ම මෙවැනි ලැයිස්ගුගත සහ ගනුදෙනු අත්හිටවුණු සමාගම් මිලදී ගැනීම සම්බන්දයෙන් අවධානය යොමු කර ඇතැයි පවසයි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්ගුත සමාගම් සම්බන්දයෙන් දැනට සිදු කර ඇති විශ්ලේෂණයට අනුව එහි ලැයිස්තුගත සමාගම් 285 අතරින් අද වනවිට ගනුදෙනු වශයෙන් ක්‍රියාකාරීව පවතින සමාගම් ඇත්තේ 75ක් පමණකි. ඒ අනුව ඉතිරි සමාගම් සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙලෙස නිද්‍රාශීලීව සිටින බවත් ඒවා ඕනෑම අවස්ථාවකදී අත්පත් කරගැනීමේ  හැකියාව පවතින ඒවා බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මහජන කොටස් නිකුතුවක් සඳහා බලාපොරොත්තු තබා තිබෙන මෙවැනි සමාගම් වෙත මෙම ක්‍රමය වඩාත් සුදුසු බවද පුවත්පත වෙත කරුණු දක්වන එම තැරුව්කරුවා පවසයි.

කෙසේ වෙතත් අද වනවිට කොළඹ කොටස් හුවමාරුව මගින් සමාගම් වෙත ලැයිස්තුගත වීමේ පටිපාටිය සරල කරවීමේ අදහසකින් සිටින බවත්, ඒ හරහා තවත් සමාගම් රැසකටම කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවීම උනන්දු කරවීමේ අරමුණින් පසුවන බවත් මේ පිළිබඳව අදහස් පළ කරන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

එසේම ඉදිරියේදී මහජන කොටස් නිකුතුව අනුමත කිරීම සඳහා වන පියවර වෙනස් කිරීම සඳහා මෙන්ම ඉදිරියේදී රජයේ ව්‍යවසායන් කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කිරීම සඳහා උනන්දු කරවීමක් වෙනුවෙන්ද කොළඹ කොටස් හුවමාරුව යොමුවීමේ අවස්ථාවක් පවතින බවත් එම විශ්ලේෂකයන් සඳහන් කරයි.

Visits: 1457