ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයන් හමුවෙයි

දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජායිශංකර් මහතා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර නියෝජනය කරමින් එහි ප්‍රධානීන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත් වූ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරීත්වයක් වර්ධනය කරගැනීම ඇතුළුව දෙරට අතර ව්‍යාපාරික මට්ටමෙන් පවතින කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමක් සිදුව තිබේ. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් ඉ දිරිපත් වන අභියෝග සඳහා ඒකාබද්ධව මුහුණදිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවද පැවසෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය යථාවත් කරගැනීමේ කාර්යයේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව අගය කර ඇති මෙම ව්‍යාපාරිකයන් ඉන්දියා-ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සහ ව්‍යාපාරික සබඳතා  බලගැන්වීම සඳහා කටයුතු කරන බවද පැවසූ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එසේම දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සහ එය තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.

මීට අමතරව එයාර්බබල් ක්‍රමය හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සංචරණය සඳහා වන හැකියාව මෙන්ම මෙරට සමාජ ආර්ථික අවස්ථාවන් සඳහා ඉන්දීය අයෝජන සිදු කරගැනීමේ හැකියාව මගින් දේශීය රැකියා නියුක්තිය තවදුරටත් ඉහළ නංවා  ගත හැකි බව ව්‍යපාරිකයන් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙම  හමුව සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් MAS හෝල්ඩිංග්ස් හි සභාපති/සම නිර්මාතෘ දේශමාන්‍ය මහේෂ් අමලීන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, හේලීස් පීඑල්සී සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 104