LOLC විකිණූ කොටස් මිලදී ගත් අමරසිංහ පවුලේ BPPL ගොඩ වැඩිවෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තමන් සතුව තිබූ BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී (Beira Parawood Products Ltd) සමාගමේ 26.25%ක කොටස් ප්‍රතිශතයක් අලෙවි කිරීමට කටයුතු කළ බව කොටස් හුවමාරුව වෙත ඊයේ අනාවරණය කෙරිණි. BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ දෙවැනි විශාලම කොටස් හිමිකරුවා වූයේද LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂිකාවක වන කල්ෂා අමරසිංහ මහත්මිය එම කොටස් ප්‍රමාණයේ ගැනුම්කරුවා වූ බව සමාගම අනාවරණය කර තිබේ. මෙහිදී LOLC හෝල්ඩිංග්ස් සමාගම තමන් සතු වූ BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ එක් කොටසක් රුපියල් 16.00 බැගින් කොටස් 80,546,372ක් අලෙවි කර තිබේ. මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.2 (1,288,741,952) කි.

අද වනවිට BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකරුවා වන්නේද කල්ෂා අමරසිංහ මහත්මියගේ ස්වාමියා වන ආචාර්ය අනුෂ් අමරසිංහ මහතායි. ඒ මහතාට අයත්  ඉන්ෆිනිටි කැපිටල් (පෞද්) සමාගම සතු එම කොටස් ප්‍රමාණය 154,382,777 ක් එනම් 50.31%ක ප්‍රතිශතයකි. ඒ මහතා BPPL හෝල්ඩිංග්ස් පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

ඒ අනුව මෙම මිලදී ගැනීමෙන් අනතුරුව අනුෂ් අමරසිංහ මහ කල්ෂා අමරසිංහ යුවල වෙත ඍජුව හා වක්‍රව හිමිවන BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය 234,929,149 ක් එනම් 76.56%ක ප්‍රතිශතයකි.

දකුණු ආසියාවේ විශාලතම බුරුසු සහ කෘත්‍රිම කෙඳි නිෂ්පාදකයා ලෙස BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී (Beira Parawood Products Ltd) සමාගම හැඳින්වෙයි. ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා විසින් 2012 වසරේදී එම සමාගම මිලදී ගෙන තිබේ. මෙම සමාගම මගින් සිදුකරන සියලුම නිෂ්පාදන අපනයනය කිරීම සිදු කරයි. අද වනවිට මෙරට භාවිතයෙන් ඉවත් කෙරෙන PET බෝතල් අතරින් 10%-15% ත් අතර ප්‍රමාණයක් ලබා ගන්නේද මෙම සමාගම මගිනි.

Visits: 389