ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංදයේ අකුර වැඩ කිරීම අධ්‍යක්ෂමණ්ඩලය සහ සේවකයන් හෙළා දකියි

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ (ALPG) විධායක කමිටුවේ සාමාජිකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීම ගුවන් සේවයේ අධ්‍යක්ෂමණ්ඩලය, කළමනාකාරීත්වය සහ ගුවන් සේවය තුළ කැප වී වැඩ කරන අනෙකුත් සියලු සේවකයින් සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් මගින් පවසයි.

එහිදී කරුණු දක්වන ගුවන් සමාගම මෙම පිරිස අකුර වැඩ කිරීම නිසා ගුවන් සමාගමේ මෙහෙයුම් වලට දැඩි බාධා ඇති කිරීමක් පමණක් නොව ගුවන් සේවය මෙන්ම රටේ සංවර්ධනය ද අනතුරට ලක් කිරීමක් බවද පෙන්වා දෙයි.

“ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවකයින්ගෙන් එක් කොටසක් හිතාමතාම සමාගමේ සෙසු කැපවී වැඩ කරන වටිනා සේවකයින්ගේ උත්සාහයන් සහ ශ්‍රී ලංකා රජයේ අධිෂ්ඨානය අඩපණ කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සහ ගුවන් සේවය දැඩි ලෙස කලකිරීමට පත්ව සිටිති. එසේම ALPG හි මෙම ආත්මාර්ථකාමී ක්‍රියාවන් අධ්‍යක්ෂමණ්ඩලය, කළමනාකාරීත්වය සහ ගුවන් සේවයේ කැපවී වැඩ කරන අනෙකුත් සියලු සේවකයින් දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කළ යුතුව ඇත.” මෙම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ALPG විසින් ගුවන් සමාගමෙන් ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වා සිටින ලෙස සහ හදිසි අවස්ථාවක් සඳහා රාජකාරියට වාර්තා කිරීමට එකඟ නොවන ලෙස සිය සාමාජිකයින්ට බල කිරීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් වෙයි.

මෙලෙස ALPG විසින් දක්වන මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව වී ඇත්තේ COVID-19 ආසාධනය වන සාමාජිකයන් සඳහා විශේෂිත ප්‍රතිකාර පහසුකමක් සහිත ස්ථානයක් ගුවන් සමාගම විසින් ලබා නොදීමයි.

කෙසේ වෙතත් එවැනි පහසුකමක් ගුවන් සමාගමේ සාමාජිකයන්ට ලබා දීම සඳහා අදාළ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීම් සිදු කර ඇති අතර ඉක්මනින් එම පහසුකම ලබා දෙනු ඇතැයි ගුවන් සේවය අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව රටට මුල් තැන දී කටයුතු කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් නියමුවන්ගේ සංසදයේ සාමාජිකයන්ගෙන් ඉල්ලීම් කර සිටියි.

Visits: 19