රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී නව ටයිල් කර්මාන්තශාලාවක් පිහිටුවීමේ සූදානමක

මෙරට මුල් පෙළේ  ටයිල් නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී සමාගම සිය නිෂ්පාදන ධාරිතාව 20%කින් වැඩි කිරීමේ අරමුණින් නව ටයිල් කර්මාන්තශාලාවක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි. එසේම මේ හරහා වෙලෙඳ පොළ වෙත වඩාත් පහසු මිලකට ටයිල් ලබා දීම සමාගමේ අරමුණ බවත් පැවසෙයි.

අද දිනයේ පළ වූ ඩේලිමිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා මෙම නව ටයිල් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර සිටියි.

“අපි ඉදිරියේදී නව ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර සිටිනවා. ඒ සඳහා සුදුසු ස්ථාන කිහිපයක්ම දැනටමත් හඳුනාගෙන අවසන්. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ හැකි තරමින් ජනගහනයෙන් තොර ස්ථානයක් වෙත යාමයි. ඒ වගේම අපි දන්නවා අද අපි ඉලක්ක කරගන්නේ ඉහළ මට්ටමේ පාරිභෝගිකයන් සිටින වෙළෙඳ පොළක්.” අරවින්ද පෙරේරා මහතා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සැලසුම් කර ඇති මෙම කර්මාන්තශාලාව වෙත රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම යොදවන ආයෝජනය සම්බන්ධයෙන් කලමනාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී අනාවරණය කර නැත. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහිද ලැයිස්තුගත රෝයල් සෙරමික්ස් පීඑල්සී සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා යටතේ ක්‍රියාත්මක වන සමාගමකි.

අද වනවිට රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම ‘රොසෙල්’ සන්නාමය යටතේ ඉහළ මට්ටමේ පාරිභෝගික වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් බිම් සහ වෝල් ටයිල් නිෂ්පාදනය සිදු කරයි. ඒ අනුව ඉදිරියේදී සෑම පාරිභෝගිකයෙකුටම සරිලන මිල ගණන් යටතේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම මෙම නව කර්මාන්තශාලාවේ අරමුණ වී ඇත.

එහිදී  නව කර්මාන්තශාලාව චීන යන්ත්‍රෝපකරණය යොදා ගනිමින් සන්නද්ධ කෙරෙනු ඇති බවත්, ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව සපයා ගැනීමක් සිදු කෙරෙන බවත් රෝයල් සෙරමික්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා පුවත්පත වෙත වැඩිදුරටත් පවසා තිබේ.

එසේම මෙම නව කර්මාන්තශාලාව පිහිටුවීමෙන් අනතුරුව සිය නානකාමර කට්ටල සහ ටයිල් නිෂ්පාදන ධාරිතාවන්ද පිළිවෙලින් 20%ත් 10%ත් අතර ප්‍රතිශතයන්ගෙන් ඉහල නංවාගැනීමද අරමුණ වී ඇතැයි හෙතෙම සඳහන් කර ඇත.

රට තුළ පවතින විදේශ මුදල් සංචිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය සිදු කළ මැදිහත්වීම අනුව පනවා ඇති ආනයන සීමා කිරීම හේතුවෙන් ටයිල් ආනයනයද සීමා වී ඇත. මෙ සීමා කිරීම්ලට පෙරාතුව මෙරට ටයිල් අවශ්‍යතාවයේ සැපයුම දේශීයව නිෂ්පාදන හරහා 43%ක් ලෙසද ආනයනික නිෂ්පාදන හරහා 57%ක් ලෙසද පැවතුණු බව පුවත්පත වැඩිදුරත් පවසයි.

කෙසේ වෙතත් මෙම ආනයන සීමා පැනවීමත් සමගින්ම දේශීයව නිපදවන ටයිල් සහ සනීපාරක්ෂක උපාංග සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබේ.

අද වනවිට රෝයල් සෙරමික්ස් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වන ලංකා  ටයිල්ස් පීඑල්සී හා එක්ව මෙරට බිම් ටයිල් වෙළෙඳ පොළ තුළ 43%ක වෙඳෙළ පොළ කොටසක්ද, වෝල් ටයිල් වෙළෙඳ පොළ තුළ 25%ක වෙළෙඳ පොළ කොටසක්ද හිමි කරගැනීමට සමත්ව ඇත. එසේම අද වනවි මෙම සමාගම් දෙක සතුවම අක්කර 25ක් පමණ වන මැටි ලබා ගැනීමේ පතල් භූමි පිහිටා ඇතැයිද පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 578