ඉමාල් ෆොන්සේකා මල්ටි ෆිනෑන්ස් සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන මල්ටි ෆිනෑන්ස් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස ඉමාල් ෆොන්සේකා මහතා පත් කර ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි. 2020 ජනවාරි 01 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැං කුව මගින්ද මෙම නව පත් කිරිම අනුමත කර තිබේ.

මල්ටි ෆිනෑන්ස් සමාගමේ මව් සමාගම වන ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද ඉමාල් ෆොන්සේකා මහතා කටයුතු කරයි. එසේම ඒ වන විටත් ඒ මහතා මල්ටිෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර තාවකාලික සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඉමාල් ෆොන්සේකා මහතා සතුව මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කිසිදු කොටස්  හිමිකමක් නොමැති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් වෙයි. 1974 වසරේදී සමාගමක් ලෙස පිහටවුණු මල්ටි ෆිනෑන්ස් සමාගම 2011 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගතවී තිබේ. 2017 වසරේ පෙබරවාරි මාසයේදී ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගම මගින් එය අත්පත් කර ගෙන ඇත.

මල්ටි ෆිනෑන්ස් සමාගම මේ වනවිට ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීම්, ලීසිං, ව්‍යාපාරික ණය, රන් ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු සේවා සපයයි.

ඉමාල් ෆොන්සේකා මහතා ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හා සම්බන්ධවීමට පෙරාතුව සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. එසේම හේමාස් මැනියුෆැක්චරින් සමාගමේද සේවය කර ඇති ඒ මහතා ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ හේමාස් පාරිභෝගික භාණ්ඩ අංශයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

එසේම ෆොන්සේකා මහතා ජේ වෝල්ටර් තොම්ප්සන්, යුනිලීවර්, ග්ලැක්සෝ-ස්මිත්ක්ලයින්, කොකා-කෝලා සහ ෂෙව්රොන් යන බහු ජාතික සමාගම් හි සේවය කර ඇති අතර මැදපෙරදිග, අග්නිදිග ආසියානු සහ ඉන්දියානු උප මහාද්වීපයේ රාජ්‍යයන්හිදී ඔහු රාජකාරි කර තිබේ.

මීට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස්, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් (ලංකා) පීඑල්සී සහ යුරේකා ටෙක්නොලොජි පාර්ට්නර්ස් යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇත.

ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී ඇති ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම දේපළ වෙළෙදාම්, හෝටල්, මූල්‍ය සේවා, කසල කළමනාකරණය, ගුවන් සේවා, ගෘහ අලංකරණ සේවා, ගුවන්සේවා සහ ජෛවතාක්ෂණික යන ක්ෂේත්‍රයන්හි සමාගම් පවත්වාගෙන යයි.

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අමතරව ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමද ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ මූල්‍ය සේවා සපයන සමාගම් අතර පවතී.

Visits: 70