BIL හි වැඩි දායකත්වයෙන් ASPI 7,000 සීමාව පසුකරයි

අද දිනයේදී (ජනවාරි 06) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු තුළදී ආයෝජකයන් අතර මිශ්‍ර ගති ලක්ෂණ පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. විශේෂයෙන් ලාභ ඉපැයීම් සඳහා ආයෝජකයන් වැඩි දෙනෙකු යොමුවීමක් පෙන්නුම් කර තිබේ. එහෙත් තනිපුද්ගල ගනුදෙනුකරුවන් දිනයේ ගනුදෙනු සඳහා වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇතැයි එම සමාගම් පවසයි. එහිදී දිනයේ සමස්ත පිරිවැටුම ගෙවුණු සති 51කට පසුව ඉහළම අගයට පත්ව ඇති අතර, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමස්ත පිරිවැටුමෙන් 44%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,942.12ත් ඒකක 7,043.87ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 7,036.76 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 05) දිනයට සාපේක්ෂව ඒකක 57.90 ක් එනම් +0.83%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව සහ හේලීස් හෝල්ඩිංග්ස් දිනයේ පිරිවැටුම සඳහා 21%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 94ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+19.73), වැලිබල් වන් පීඑල්සී VONE (+5.22), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+4.38),  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+4.35),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.74),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී  MELS (-2.4),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී  HHL (-1.91),  ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී TKYO (-1.22), කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී COCR (-0.63)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,703.19 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 05) දිනයට සාපේක්ෂව ඒකක 4.45 ක එනම් -0.16%ක පහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.16ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 05දා) වාර්තා කළ රුපියල් බිලියන 6.19ට සාපේක්ෂව 16% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.07 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 3.90%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 246.09ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 346.60ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 100.51කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 644.41ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 224.38කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය යුනියන් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.92කි. එසේම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 39.89ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 3,579ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 50% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,033ක සහ රුපියල් මිලියන 626ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 30