පසන් වනිගසේකර BOI අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පසන් වනිගසේකර මහතා අද (07)  දිනයේ රාජකාරී ආරම්භ කළ බව එම මණ්ඩලය පවසයි.

එම ධුරයේ කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා BOI සභාපතිවරයා ලෙස පත්වීමත් සමග පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදුව තිබේ.

නව ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් අමතමින් අදහස් දැක්වූ වනිගසේකර මහතා, පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රීයාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බවද ප්‍රකාශ කළ බව එම මණ්ඩලය පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති වනිගසේකර මහතා, ගෝලීය ආයෝජන සංචිතය සදහා තරග වදින අනෙකුත් සියළුම රටවල් සමග ජාත්‍යන්තරව තරග කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් ආයතනයක් වනු දැක්ම තමාගේ දැක්ම හා අපේක්ෂාව බවද පවසා තිබේ .

එසේම වර්තමාන සභාපති සංජය මොහොට්ටාල මහතාගේ මුලපිරීමෙන් දියත් කෙරුණු  “බහු විධ කවුළුව” සංකල්පය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පරිවර්තන පියවර කඩිනම් කිරිමට ඔහු විසින් ප්‍රතිඥා දීමද සිදු කර ඇත.

පසන් වනිගසේකර මහතා ආයෝජන  මණ්ඩලයට සම්බන්ධ වීමට ප්‍රථම, ප්‍රධාන පෙලේ ගෝලීය ආයතන කිහිපයක සහ ආසියා කේන්ද්‍රීය පුද්ගලික ආයෝජන ආයතන කීපයකට ආයෝජන විෂ්ලේශණ හා මෙහෙයුම් ප්‍රශක්තිකරණය සම්බන්ධයෙන් උපදේශණ සේවා ලබාදීමේ නිරතව ඇති අතර, නීතිඥයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඊට ප්‍රථමව ගෝලීය ප්‍රධානපෙලේ ආයතන 500 න් එකක් වන මූඩිස් (MOODY’S) සමාගමට අනුබද්ධව ද අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා සේවය කර තිබේ.

මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන  ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වේ.

Visits: 49