2020දී ආර්ථිකය 3.9% ක හැකිලීමක් – මහ බැංකු ලිහිල් මුදල් ප්‍රතිපත්තිය 2021දීත් අඛණ්ඩව

කොවිඩ්-19 වසංගත රැල්ල හේතුවෙන් ඇති වූ බලපෑම නිසා 2020 වසර තුළදී මෙරට ආර්ථිකය 3.9%කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසයි.

ඊයේ (04දා) ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද ‘පෙර දැක්ම 2021’ මහ බැංකුවේ 2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ පිළිබඳව සඳහන් කර තිබේ.

“ඒ අනුව 2020 පළමු කාර්තුවේදී සුළු සංකෝචනයක්ද, දෙවන කාර්තුවේදී සාපේක්ෂව විශාල සංකෝචනයක්ද වාර්තා කිරීමෙන් අනතුරුව ආර්ථිකය තෙවන කාර්තුවේදී සුළු වශයෙන් ධන වර්ධනයක් වාර්තා කළේය. සිව්වැනි කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව ආර්ථිකය වසර තුළදී 3.9%ක පම සංකෝචනය වීමක් වාර්තා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන්ම මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා අනෙකුත් ගෝලීය ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවද 2020 වසරේ දෙවැනි කාර්තුවේදී සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක් වූ බව මහ බැංකුව පවසයි. එහිදී උද්ධමනය පාලනය වී ඇති වාතාවරණයක් යටතේ වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නගා සිටුවීමට මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක්‍රියාමාර්ගගත් බවත් අධිපතිවරයා මෙහිදී සඳහන් කරයි.

“මෙම ක්‍රියාමාර්ග සහ රජය විසින් ආරම්භ කරන ලද ආර්ථික පුනර්ජීවන වැඩසටහන් 2020 වසරේ තුන්වන කාර්තුව තුළදී ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමකින් යථා තත්ත්වයට පත්වීමට හේතු විය.”  මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසයි.

ඒ අනුව ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂිත අන්දමට යථාතත්වයට පත්වීම සහතික කිරීම සඳහා මහ බැංකුව දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 2021 වසරේදීද අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවත් අධිපතිවරයා සඳහන් කරයි.

“එහෙත් උද්ධමන ප්‍රවණතා කෙරෙහි ආර්ථිකයේ සමස්ත ඉල්ලුම මත පදනම්ව ඇති විය හැකි ඕනෑම පීඩනයක් වළක්වා ගැනීම සඳහා අපි  නිරතුරුවම සාර්ව ආර්ථිකයේ සිදුවන වෙනස්වීම් සමීපව නිරීක්ෂණය කරන්නෙමු.” යනුවෙන්ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කරයි.

Visits: 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *