මුරලි ප්‍රකාශ් ඇම්බියොන් සමූහයට සමුදීමට යයි

මෙරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන ඇම්බියොන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන මුරලි ප්‍රකාශ් මහතා එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව ලබන ජනවාරි 31 වැනිදා සිට මුරලි ප්‍රකාශ් මහතා එම ධුරවලින් ඉවත්වන බව සමාගම පවසයි.

අද වනවිට ඒ මහතා මෙම සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඇම්පියොන් කැපිටල් පීඑල්සී යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. එසේම සමූහය සතු තවත් ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද ඒ මහතා කයුතු කරයි.

සමාගම් ක්ෂේත්‍රයේ මුල් පෙළේ කළමනාකරණ අංශයේ තනතුරුහි වසර 35කට අධික කාලයක අත්දැකීම් සහිත ඒ මහතා සමාගම් කිහිපයක් සඳහාම සිය දායකත්වය ලබා දී තිබේ. එහිදී ඇම්බියොන් සමූහය වෙත සම්බන්ධවීමට පෙර ඒ මහතා බ්‍රවුන්ස් ගෘප් ඔෆ් කම්පැනීස්හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන එය වෙළෙඳාම, නිෂ්පාදන, මූල්‍ය, ලෙෂර්, වැවිලි, සෞඛ්‍ය සේවා මෙන්ම උපායමාර්ගික ආයෝජන යන ක්ෂේත්‍ර ගණනාවකම ව්‍යාප්ත වී තිබේ.

එසේම මීට පෙර ඒ් මහතා සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ අලෙවි අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇති අතර, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී, සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සහ සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

අද වන විට මූල්‍ය සේවා, තාක්ෂණික, ඇගලුම්, පිඟන් භාණ්ඩ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍ර තුළ ඇම්බියොන් සමූහය ව්‍යාප්තව සිටියි. සුප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික ආයතනයක් වන මිලේනියම් අයිටී ආයතනය, ඇගලුම් සමාගමක් වන සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ලිමිටඩ් සහ මෙරට සුප්‍රසිද්ධ පිඟන් භාණ්ඩ සන්නාම වන දංකොටුව පෝර්සිලේන් සහ රෝයල් ෆර්න්වුඩ් යන සමාගම්වල හිමිකාරීත්වයද ඇම්බියොන් සමූහය සතුය. මීට අමතරව කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමත් ඇම්බියොන් හෝල්ඩිංග්ස් සතු සමාගමකි.

Visits: 21