පත් වී මාස දෙකකින් සී.ජේ.පී. සිරිවර්ධන යුනියන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

යුනියන් බැංකුවේ විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සී.ජේ.පී. සිරිවර්ධන (චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන) මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. 2020 දෙසැම්බර් 31 වැනිදා සිට මෙම ඉවත්වීම සිදුව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද සේවය කර ඇති ඒ මහතා පසුගිය නොවැම්බර් 02 වැනිදා සිට මෙම ධුරයට පත් කෙරිණි. පෞද්ගලික සෞඛ්‍ය කාරණාවක් මූලික කරගනිමින් ඒ මහතා මෙලෙස සිය ධුරයෙන් ඉවත් වී තිබේ. ඒ අනුව ඒ මහතා මාස දෙකක කාලයක් පමණක් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

මෙම ඉවත්වීම සිදු වන අවස්ථාව වනවිට සිරිවර්දන මහතා සතුව යුනියන් බැංකුවේහි කිසිදු කොටස් හිමිකම් නොමැති බවත් එම බැංකුව පවසයි.

මේ අතර සිරිවර්ධන මහතා මේවනවිට  කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

2017 වසරේ සිටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස සේවය කළ සිරිවර්ධන මහතා 2018 වසරේදී ඉන් විශ්‍රාම ගියේය. ඒ මහතා එක්සත්  රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යලයෙන් M.Sc. උපාධියක් සහ ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථිකයන් පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක්ද හිමි කර ගැනීමට සමත්ව තිබේ. එසේම ඒ මහතා රුහුණ විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ B.Sc. උපාධියක්ද හිමි කරගැනීමට සමත්ව තිබේ.

සිරිවර්ධන මහතාගේ වසර 32කට අධික මහ බැංකු සේවා කාලයේදී  ඒ  මහතා බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ, බැංකු නොවන මුදල් ආයතන ආවේක්ෂණය, රාජ්‍ය ණය, ගෙවීම් සහ පියවීම්, මුදල්, මහලේකම් කාර්යාලය, තොරතුරු තාක්ෂණය, අවදානම් කළමනාකරණය සහ මූල්‍ය බුද්ධි ඒකකය යන දෙපාර්තමේන්තු සහ අංශ තුළ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

ඒ මහතා ජාතික පියවීම් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. එසේම මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුව සහ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකුට අමතරව භාණ්ඩාගාර බැදුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් හි ඩෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකු ලෙසද ඒමහතා කටයුතු කර තිබේ.  මීට අමතරව අන්තර් නියාමන ආයතන කමිටුවට සහ මුදල් නොවන අවදානම් කළමනාකරණ කමිටුවේද ඒ මහතා සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ඒ මහතා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉසව් වෙතද සම්බන්ධ විය. එසේම අවදානම් කළමනාකරණය, ණය කළමනාකරණය, ආයෝජන කළමනාකරණය,  මූල්‍ය ස්ථායිතාවය, මුදල් ප්‍රතිපත්තිය, නායකත්වය සහ ප්‍රාදේශීය සංවර්ධනය යනාදී අංශ පිළිබඳ වන ජාත්‍යන්තර පුහුණුවීම් රැසක් වෙතම ඒ මහතා සම්බන්ධ වී තිබේ.

එසේම සිරිවර්ධන මහතා මීට පෙර සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අධ්‍යක්ෂවරයා, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිවරයා, ජාතික ආර්ථික කවුන්සාලයේ නියෝජ්‍ය මහලේකම්වරයා මෙන්ම ශ්‍රී ලංකා විදුලිබල මන්ඩලයේ, ලංකා ක්ලියර් (පෞද්) සමාගමේ, කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සීහි අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයෙකු ලෙසද, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිරීක්ෂකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Visits: 14