ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දින දෙකක සංචාරයක් සඳහා ඊයේ සවස මෙරටට පැමිණියේය. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. ඒ මහතා ලබන 7 වැනිදා දක්වා මෙරට තුළ රැඳී සිටින බව රජය පවසයි.

මෙම සංචාරය අතරතුර දී අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. නව වසරේදී ජයශංකර් මහතා විසින් සිදු කරන පළමු නිල සංචාරයද මෙය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙම නිල සංචාරය මඟින් 2021 දී ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ විදේශීය සම්භාවනීය පුද්ගලයකුගේ පළමු පැමිණීම සනිටුහන් කිරීමේ අවස්ථාවක් බවද රජය පවසා සිටියි. දෙරටේ කොවිඩ්-19 සංචාරක සීමාවන් මධ්‍යයේ මෙම සංචාරය එයාර් බබ්ල් සංකල්පය හරහා සංවිධානය කෙරී ඇතැයි රාජ්‍යයන් දෙකම සඳහන් කරයි.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල සංචාරයක නිරත වූ විදේශීය අමුත්තා වීමද විශේෂත්වයකි.

එහිදී ඒ මහතා සුබපැතුම් එක් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දියාව වෙත සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා කළ ආරාධනයද පිරිනැමීය. එවැනි ඉහළ මට්ටමේ හුවමාරු හරහා සහයෝගීතාවයේ විවිධ අංශවල ද්විපාර්ශ්වික සබඳතාවය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම අපේක්ෂා කරන බවද රජය වැඩිදුරටත් ප වසා සිටියි.

Visits: 9