DFCC බැංකුව SLASSCOMRPA 2020 හිදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කරගනිමින්, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (Sri Lanka Association for Software Services Companies) සංවිධානය කළ SLASSCOMRPA 2020 සම්මාන  උළෙලේදී ‘විශ්ෂ්ටතම පශ්චාත් කොවිඩ් නවෝත්පාදනය’ සඳහා වූ සම්මානය දිනාගැනීමට සමත් වූ බව පවසයි.  

‘ව්‍යාපාර අඛණ්ඩතාව’ කාණ්ඩය යටතේ මෙම සම්මානය පිරිනමන ලද්දේ,COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ‘ස්වයංක්‍රීය ණය සහන’ වැඩසටහන (‘Automated Debt Moratorium’ initiative) වෙනුවෙනි.

SLASSCOM RPA (Robotic Process Automation) සම්මාන උළෙල ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන සුවිශේෂීම සම්මාන උළෙලක් ලෙස සැලකේ. කාලීන වැඩසටහන් ඔස්සේ නවෝත්පාදන හා ප්‍රති-අර්ථකථන සිදුකරන ව්‍යාපාරයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන උළෙල ‘Online’ ක්‍රමයට පවත්වන ලද අතර එහිදී DFCC බැංකුවට මෙම සම්මානය හිමි විය.

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව,COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව කටයුතු කළ අතර, 10,000 කට අධික ණය සංඛ්‍යාවක් සඳහා සහන කාලසීමාවන් පිරිනැමීමට කටයුතු යොදන ලදි.

සාමාන්‍ය පරිදි මිනිස් ශ්‍රමය භාවිතයෙන් මෙම කටයුතු සිදුකිරීමට මිනිස්-දින 145 ක් පමණ ගතවීමට ඉඩ තිබූ අතර, ආරක්ෂාව උදෙසා නිවෙස් වල සිට රාජකාරි කිරීමට කාර්ය මණ්ඩලයට අවස්ථාව සලසා දී තිබූ පසුබිමක් තුළ මෙය තවත් දුෂ්කර වීමට ඉඩ තිබිණි. මීට විසඳුමක් ලෙස RPA තාක්ෂණය ඔස්සේ මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමට තීරණය කරන ලදි. මෙමගින් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තවදුරටත් තහවරු කිරීමට මෙන්ම, සහන ලබාදීම් කටයුතු වඩාත් නිවැරදි හා කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවස්ථාව උදා විය.

පැවති සීමාවන් හමුවේ මෙම සංකීර්ණ ක්‍රියාවලිය මෙතරම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට හැකිවීම නිසා මෙය බැංකු ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සපයමින් SLASSCOMRPA 2020 සම්මාන උළෙලේදී සම්මානයකින්ද පිදුම් ලැබී ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා “අපගේ ස්වයංක්‍රීය ණය සහන වැඩසටහන වෙනුවෙන් මේ ආකාරයට SLASSCOM වෙතින් සම්මාන හිමිවීම අපට විශාල සතුටක්. ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදීම  සඳහා අප නිරන්තරයෙන් නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට කටයුතු කරනවා. මේ සම්මානය, එම උත්සාහයේ සාර්ථකත්වයට තවත් උදාහරණයක්. නවීනතම හා පෙරළිකාරී තාක්ෂණයන් භාවිතයට ගැනීමට අප කවදත් ප්‍රමුඛත්වය ලබාදෙනවා. RPA යනු 2019 වසර තුළදී ඒ ආකාරයට අප භාවිතයට ගත් තවත් නවීන තාක්ෂණයක්. එමගින් අපට ක්‍රියාවලි රාශියක් ස්වයංක්‍රීයකරණය කිරීමට හැකිවී තිබෙනවා. මෙම කාලසීමාව තුළ අප ලබාගත් දැනුම මගින්,COVID-19 රෝග ව්‍යාප්තිය සිදුවන කාලයේ මතුවූ අභියෝග වලට ඉක්මන් විසඳුම් ලබාදීමට අපට හැකියාව ලැබුණා. මේ ඔස්සේ අපට දැන්, අපගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන අතරම,  වඩාත් ඉක්මනින් හා නිවැරදි ලෙස, අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහනයන් පිරිනැමීමට හැකි වී තිබෙනවා.” යනුවෙන් පවසයි.

Visits: 13