ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් එක්ව ජාතික සබඳතා ක්ෂේත්‍රයේ ඉතිහාසය අලුතින් ලියයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය.

එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, SLT මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරන සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා SLT-MOBITEL විශාල දායකත්වයක් ලබා දෙන අතර තාක්‍ෂණයෙන් පණගැන්වෙන ආර්ථිකයක් සහ තාක්‍ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීමට රජය ගන්නා උත්සාහයට මෙම ඓතිහාසික එකමුතුව ඉවහල් වනු ඇත.

වසර 163 කට අධික කාලයක පටන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර, ජංගම සහ වෙනත් මෙහෙයුම් අංශ තුළ සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින් මෙරට සබඳතා අවශ්‍යතා සපුරාලීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මෙරට ස්ථාවර දුරකථන සබඳතා ක්ෂේත්‍රයේ අසමසම වෙළඳපොල ප්‍රමුඛයා ලෙස ද මොබිටෙල් මෙරට ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කළ සන්නාමය ලෙස ද අත්වැල් බැඳ ගනිමින් ඩිජිටල්කරණය හරහා ජනතාව සවිබල ගැන්වීම සහ ව්‍යාපාර පරිණාමනයට ලක් කිරීම තුළින් මෙරට ජනතාව සවිබල ගැන්වීමට කටයුතු කරයි.

“අද දින සිදු වූ සන්නාම ඒකාබද්ධ කිරීම හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එකම සන්නාමයක් යටතට ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. සන්නාම ද්විත්වයම හිමිකරගෙන ඇති කීර්ති නාමය ඒකාබද්ධ කිරීම හරහා SLT-MOBITEL සතු සන්නාම හිමිකාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනවා. එය පාරිභෝගිකයාගේ මනසට එක්වරම කාවදින, විශ්වාසවන්ත සහ පිළිගැනීමට ලක්වන සන්නාමයක් බවට පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නව සන්නාම අනන්‍යතාව, පාරිභෝගිකයාට ක්ෂණිකව හඳුනාගත හැකිවන සංකල්පයකින් යුතුවන අතර සන්නාම ද්විත්වයේ අසමසම සබඳතාව පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම්හි සේවා ප්‍රති සැකසුම්කරණය සහ ඒකාබද්ධ කිරීම ද නව සන්නාම ලකුණ මගින් නිරූපණය කෙරේ. පාරිභෝගිකයාගේ ජීවිතයේ හෝ රැකියා පරිසරය තුළ උසස් කාර්යක්‍ෂමතාවක්, පහසුව සහ අසීමිත අවස්ථා නිර්මාණය කිරීම හරහා ඔවුන්ගේ අභිලාෂ මුදුන්පත් කිරීමට SLT-MOBITEL කටයුතු කරයි.

මෙම සන්නාම ඒකාබද්ධ කිරීම පාරිභෝගිකයා වෙත සිදුකරන ධනාත්මක බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා සිය අදහස් පළ කළේය. “ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ලෙස අප තවදුරටත් සබඳතා සහකරුවෙකු ලෙස නොව; ජනතාවගේ ජීවන ශෛලියට ධනාත්මක බලපෑමක් සිදුකරන ජීවන ශෛලීය සමාගමක් ලෙස කටයුතු කරන බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි. සමූහයේ ප්‍රධානතම සමාගම් ද්විත්වය වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම්, සමූහයේ පදනමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර අනෙකුත් අනු සමාගම් සමග එම සමාගම් ද්විත්වය ස්ථාවර සබඳතා සේවා, ජංගම සන්නිවේදන, බ්‍රෝඩ්බෑන්ඩ් සේවා, අන්තර්ජාල ටෙලිවිෂන් සහ සෞඛ්‍ය සේවා ප්‍රවේශය ඇතුළු සේවා රැසක් පිරිනමනවා. මෙතැන් සිට එම සමාගම් ද්විත්වය එකම සන්නාමයක් යටතේ තවදුරටත් සිය සහයෝගය පුළුල් කර ගැනීමට කටයුතු කරන අතර, විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීම සම්බන්ධව ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස පාරිභෝගිකයා කේන්ද්‍රකර ගත් නවෝත්පාදන සේවා පිරිනැමීමට ද කටයුතු කරනවා.”

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තුලින් SLT-MOBITEL, සියලු ප්‍රමාණයේ ආර්ථික ක්ෂේත්‍රවල ආයතන, වෙනත් විදුලි සංදේශන මෙහෙයුම්කරුවන් සහ අන්තර්ජාල සේවා සම්පාදකයන් (ISPs), රාජ්‍ය ආයතන හා ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා විදුලි සංදේශන ජාල සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා පිරිනමයි. ඔප්ටිකල් ෆයිබර්, ADSL2+, VDSL2, carrier-grade Wi-Fi සහ ස්ථාවර සහ ජංගම 4G LTE තාක්ෂණ ඇතුළු තාක්ෂණික ක්‍රමෝපායන් රැසක් සමගින් එම සේවා පිරිනැමීමට එම සමාගම කටයුතු කරයි. තවද, විවිධ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් ජාල හරහා නවීනත ම ගෝලීය සේවා පිරිනමමින් විදුලි සංදේශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් බවට සිය නාමය තහවුරු කර ගැනීමට ද එම සමාගම සමත්ව සිටී.

“අද දින සිට අපගේ සියලු ම පාරිභෝගිකයන් එකම SLT-MOBITEL පවුලක් ලෙස අප හඳුනා ගනු ඇති අතර අපගේ සියලු සේවාවන් එක්ව අත්විඳීමේ අවස්ථාව උදාවනු ඇත. දේශයට විදුලි සංදේශන සේවා සම්පාදනය කරන ප්‍රධානතම සමාගම ලෙස කිරුළු දරන මේ මොහොතේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි අප සියලු දෙනාම පොදු සන්නාම අනන්‍යතාව යටතේ එක්ව කටයුතු කිරීමට බැඳී සිටිනවා. මොබිටෙල් සමග අත්වැල් බැඳ ගනිමින් අපගේ 4G, 5G සහ රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සේවා එකම සන්නාමයක් යටතේ පිරිනමමින් පාරිභෝගිකයාටත්, සමාගමටත් වටිනාකමක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” නව ඩිජිටල්-කේන්ද්‍රීය අනන්‍යතාව ජනගත කිරීම පිළිබඳ අදහස් පළ කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

SLT-MOBITEL හි මොබිටෙල් සමාගම ජංගම දුරකථන, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ්, ව්‍යාපාරික විසඳුම්, ජාත්‍යන්තර සේවා සහ පුළුල් පරාසයක විහිදුනු අගය එකතු කරන ලද සේවා ඇතුළු ජංගම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා රැසක් පිරිනමයි. මෙරට වේගවත්ම 4.5G/4G+ ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල්, Ookla Speedtest සම්මානයට පාත්‍ර විය. මාස්ටර් සහ Sri Flix ආදී මෙරට වෙළඳපොල සඳහා නවීන සේවා රැසක් ද පිරිනමන එම සමාගම, 2019 වසරේදී ඇ.ඩො. මිලියන 100 කට අධික ආයෝජනයක් සිදුකරමින් මෙරට විශාලතම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය දියත් කළේය. 5G තාක්ෂණය අත්හදා බැලූ දකුණු ආසියාවේ පළමු ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, 5G තාක්ෂණය මෙරට තුළ දියත් කරමින් ඩිජිටල් තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි.

SLT මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ද මෙම සන්නාම ඒකාබද්ධ කිරීම පිළිබඳ සිය අදහස් පළ කළේය. “SLT මොබිටෙල් යනු සැබෑ ශ්‍රී ලාංකේය ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්පාදක වන අතර, ඩිජිටල් ජංගම දුරකථන තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා ද වනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් බලවේග එක්වීම මගින් අප විදුලි සංදේශන සේවා ක්ෂේත්‍රය තුළ හිමිකර ගෙන ඇති අසමසම හිමිකාරිත්වය සහ අපගේ සේවා ශක්තිය මනාව පිළිබිඹු වනවා. අප සියලු දෙනාට සබැඳි සේවාවක් බවට පත්ව ඇති බැවින් අපගේ පාරිභෝගිකයන් සහ අප අතර ඇති සබැඳියාව ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති.”

මෙරට ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක මෙන්ම වසර 163 කට අධික කාලයක පටන් මෙරට ප්‍රමුඛත ම බ්‍රෝඩ්බෑන්ඩ් සහ යටිතල පහසුකම් සේවා සම්පාදකයා ද වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වමින්, ගෝලීය තලය මත ශ්‍රී ලාංකේය නාමය ඔසවා තැබීම සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඩිජිටල් සේවා සම්පාදක බවට පත්වීම සඳහා ආ ගමන්මග තුළ එම සමාගම විදුලි සංදේශන සේවා පිරිනැමීමෙන් ඔබ්බට යමින්, ඩිජිටල් ජීවන ශෛලියක් සඳහා පුළුල් පරාසයක විහිදුනු සේවා සහ විසඳුම් සම්පාදකයෙකු බවට පත්ව සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ජංගම දුරකථන සේවා අංශයවන මොබිටෙල්, 2018 වසරේදී මෙරට ප්‍රථම වාණිජ 4.5G/4G+ ජංගම දුරකථන ජාලය හඳුන්වා දෙන ලද අතර, වාණිජ ස්මාර්ට් ජංගම දුරකථනයක් එහි 5G ජාලයට සම්බන්ධ කිරීම හරහා ජංගම දුරකථන සන්නිවේදන ජාලයකින් 1.55Gbps වේගයකින් යුතුව 5G තාක්ෂණය සාර්ථකව දියත් කරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාලය වේ. NB-IoT, ස්වයංක්‍රියකරණය, කෘත්‍රිම බුද්ධිය සහ තීරණාත්මක සන්නිවේදන තාක්ෂණ සහ විසඳුම් ක්ෂේත්‍ර තුළ පසුගිය වසර ගණනාව පුරා සිය බලපෑම වැඩිදියුණු කළ මොබිටෙල් සමාගම, අන්තර්ජාල වේගය සහ පරීක්ෂණ යෙදවුම් හි ගෝලීය ප්‍රමුඛයාවන Ookla මගින් අඛණ්ඩව දෙවැනි වරටත් මෙරට වේගවත්ම 4G-LTE ජාලය ලෙස ඇගයුමට පාත්‍ර විය.

Visits: 58