නව සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේද දැඩිව පිළිපැදීමට පෞද්ගලික රෝහල් පියවර ගනී

දැනට පවතින කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද සිය සංගමයේ සියලූම සාමාජික රෝහල් ආරක්ෂිත සෞඛ්‍ය සේවා සැපයීම සඳහා දැඩිව කැප වී සිටින බව මෙරට සියලූම පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන ප‍්‍රධානතම ආයතනය වන පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය (APHNH) රෝගීන්ට හා මහජනතාවට නැවත අවධාරණය කරයි.

සිය සංගමයේ සියලූම සාමාජික රෝහල් පරිශ‍්‍රයන් තුළ වසංගතය පැතිරීම පාලනය කිරීම හා අවදානම අවම කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කර ඇති දැඩි ආරක්ෂිත හා පූර්වාරක්ෂිත පියවර පිළිබඳව සංගමය තම සාමාජිකයින් ප‍්‍රශංසාවට ලක් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන APHNH හි ලේකම් වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය මහතා ‘‘රෝහල් පරිශ‍්‍රයන් තුළ කොවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම හා වළක්වා ගැනීම සඳහා දේශීය බලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පූර්වාරක්ෂිත පියවර ක‍්‍රියාත්මක කිරීමට අපගේ සංගමය හා සියලූම සාමාජික රෝහල් පූර්ණ සූදානමින් සිටිනවා. අප ගෝලීය වශයෙන් හොඳම ක‍්‍රමෝපායන් ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කළ අතර කෙටි කාලයක් තුළ රෝගීන් හා සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා පෞද්ගලික රෝහල් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග පිළිබඳව අප ආඩම්බර වෙනවා. සැබවින්ම මේ වසංගත තත්වයේදී ඉදිරියෙන්ම කටයුතු කරන සුව විරුවන් ලෙස අපගේ සෞඛ්‍ය සේවකයින් හඳුන්වා දිය හැකියි. එනිසා ඔවුන්ව ආරක්ෂිතව තබා ගැනීමට අපගේ රෝහල් උපරිමව උත්සාහ කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

‘‘රටේ ජාතික සෞඛ්‍ය සේවාවන් වසංගතයට එරෙහිව සටන් කරද්දී සියලූම ශ්‍රී ලාංකිකයින්ට කලට වේලාවට ගුණාත්මකභාවයෙන් යුතු අත්‍යාවශ්‍ය හා දෛනික සෞඛ්‍ය සේවා අඛණ්ඩව ලබා දීම සහතික කරමින් පෞද්ගලික රෝහල් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එමෙන්ම කල්තියා සැලසුම් කළ සැත්කම්, ජංගම රසායනාගාර සේවා හා මාර්ගගතව ඖෂධ බෙදා හැරීම ඇතුළුව ඇතැම් සේවා ද පෞද්ගලික රෝහල් විසින් අඛණ්ඩව ක‍්‍රියාත්මක කළා.’’ යනුවෙන් වෛද්‍ය රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රෝහලට පැමිණෙන සියළුම රෝගීන් සහ අමුත්තන් ඔවුන්ගේ රෝග විනිශ්චය හා පසුගිය තොරතුරු පිළිබඳ සොයා බැලීමත් ඔවුන්ගේ ආශ‍්‍රිතයින් සොයා බැලීමත් මත පදනම්ව වර්ග කිරීම/තීරණය කර ඒ අනුව කොවිඞ්-19 ආසාදිත යැයි සැක සහිත රෝගීන් කඩිනමින් හඳුනා ගැනීම සහ ඔවුන්ව නියම කර ඇති රජයේ රෝහල් වෙත යොමු කිරීම; සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්ෂුද්‍රජීව වෛද්‍යවේදය පිළිබඳ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය, රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ඉහළම ප‍්‍රමිතියෙන් යුතු පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දීම; සහ සියලූම රෝගීන්, අමුත්තන්, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ආසාදන පාලන මාර්ගෝපදේශ හා ක‍්‍රමවේද පිළිපැදීම ඇතුළුව වැදගත් පියවර රැසක් මෙම තීරණාත්මක අවස්ථාවේදී පෞද්ගලික රෝහල් විසින් ගනු ලැබූ බව ඔහු පැවසුවේය.

මීට අමතරව ආසාදන පාලන ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව පෞද්ගලික රෝහල් විසින් කොවිඞ්-19 ආසාදිත යැයි සැක සහිත පුද්ගලයින් හුදකලා කිරීම සඳහා වෙනම නේවාසික වාට්ටු සහ පිටත ස්ථානවල පහසුකම් සලසා දී ඇත. තවද කාර්ය මණ්ඩලයේ, වෙනත් රෝගීන්ගේ සහ ප‍්‍රජාවේ ආරක්ෂාව අනතුරකට ලක් නොකර  ඕනෑම කොවිඞ්-19 ආසාදිත යැයි සැක සහිත පුද්ගලයෙකුට අවශ්‍ය හදිසි ප‍්‍රතිකාර ලබා දීම සඳහා වෙන් කර ඇති විශේෂ කුටි හා අධි කාර්යක්ෂමතා විශේෂිත වාතය (HEPA) පෙරණය වැනි නවීන පහසුකම්වලින් ද පෞද්ගලික රෝහල් සමන්විත වේ.

‘‘සැක සහිත රෝගීන් නිවැරදිව හැසිර විය යුතු ආකාරය, පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල භාවිතා කිරීම හා මතුපිට පිරිසිදු කිරීම සඳහා අනුමත විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිතය ආදිය පිළිබඳව අප විශේෂ පුහුණුවක් අපගේ කාර්ය මණ්ඩලයට ලබා දී තිබෙනවා. එමෙන්ම සියලූ මෙවලම්, ඇඳුම් හා අත්‍යවශ්‍ය උපකරණ පිළිගත් හා සුදුසු විෂබීජහරණ ක‍්‍රියාපටිපාටීන් යොදා ගනිමින් විෂබීජහරණය කරනු ලබනවා.’’ යනුවෙන් වෛද්‍ය රත්නප‍්‍රිය මහතා සහතික වෙයි.

‘‘වසංගතය නිසා රෝගීන් ඔවුන්ගේ දෛනික පරීක්ෂාවන් හා වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම් ආදිය අතපසු නොකර සිටීම මෙහිදී ඉතා වැදගත්. මන්ද එය විශාල සෞඛ්‍ය අවදානමකට හේතු විය හැකි නිසා. අපගේ සෞඛ්‍ය සේවකයින් සුරක්ෂිත තබා ගැනීම සහ අපගේ සියලූම රෝහල් කොවිඞ් වලින් තොරව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා අප හැමදාම උපරිමයෙන් කටයුතු කරමින් සිටිනවා. මෙම ගෝලීය වසංගත තත්වය නොතකා මහජනතාවට සෞඛ්‍ය සේවා වෙත ප‍්‍රවේශය ලබා දීම සහතික කිරීමට පෞද්ගලික රෝහල් විශ්වාසදායී, පිළිගත් ටෙලිමෙඩිසින් සේවා හා ඩිජිටල් ක‍්‍රමවේද අනුගමනය කිරීමට යොමු වුනා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

Visits: 19