කොවිඩ්-19 එන්නත ලොව පුරා බෙදාහැරීමට DHL පියවර ගනියි

ගෝලීය ලොජිස්ටික් සේවා අංශ ප්‍රමුඛයා වන DHL සමාගම, ලොව පුරා කොවිඩ්-19 එන්නත් බෙදාහැරීම අරඹමින්, DHL Express හා DHL Global Forwarding හරහා පළමු එන්නත් තොගය ඊශ්‍රායලය වෙත ප්‍රවාහනය කිරීමට පසුගියදා පියවර ගත් බව පවසයි.

එම එන්නත් තොගය රැගත් පළමු DHL එක්ස්ප්‍රස් ගුවන් යානය ඉකුත් දා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ වෙත ළඟා වූ අතර, එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පෞද්ගලිකව පැමිණ එම යානය පිළිගැනීම ද කැපීපෙනුණි. ඉන් අනතුරුව DHL හරහා දෙවැනි එන්නත් මාත්‍රා තොගයක් ද ටෙල් අවිව් නුවරට ළඟා වූ අතර ඉදිරි කාලයේදී තවත් එන්නත් අවශ්‍යතාව අනුව ප්‍රවාහනය කිරීමට සමාගම සූදානමින් සිටියි.

“අපි මේ සඳහා මාස ගණනාවක සිට පුහුණු වුණා. අවසානයේදී එන්නත් බෙදාහැරීම ආරම්භ වීමත්, අපගේ ලොජිස්ටික් සේවා විශේෂඥතාව හා හැකියාවන් මගින් ලෝකය පුරා එන්නත් ප්‍රවාහනය කිරීම සඳහා දායක වීමට ලැබීමත් අපට විශාල සතුටක්” යනුවෙන් DHL එක්ස්ප්‍රස්හි ගෝලීය ජාල මෙහෙයුම් හා ගුවන් සේවා අංශ ප්‍රධානී ට්‍රැවිස් කොබ් මහතා පැවසීය. 

“වර්තමාන වසංගත තත්ත්වය තුළ ජාත්‍යන්තර ලොජිස්ටික් සේවාවන්හි වැදගත්කම අන් කවරදාටත් වඩා ඉස්මතු වුණා. එනම්, ලොව පුරා ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල (PPE) සහ පරීක්ෂණ කට්ටල ප්‍රවාහනයට ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා නැතුවම බැරි සේවාවක් බවට පත්වුණා. දැන් අපි නව කොරෝනා වෛරසයට එරෙහි සටනේ මීළඟ අදියරට අවතීර්ණ වී සිටිනවා. ලොව රටවල් හා ස්වාධීන භූමි ප්‍රදේශ 220ක් පුරා ක්‍රියාත්මක වන අප, එක්ස්ප්‍රස් ලොජිස්ටික් සමාගමක් ලෙස ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක් කරා කොවිඩ්-19 එන්නත් බෙදාහැරීමට සූදානම්”, ඔහු තවදුරටත් විස්තර කළේය.

මේ අතර කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාර ලෙස එන්නතක් සොයාගැනීමට හැකිවීම විශාල සාධනීය තත්ත්වයක් බව කී, DHL Global Forwarding ගෝලීය ගුවන් ලොජිස්ටික් අංශ ප්‍රධානී තෝමස් මැක් මහතා වැඩිදුරටත් පැවසුවේ එවැනි සාධනීය සොයාගැනීමක් ජනතාව වෙත සමීප කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීමට හැකිවීම පිළිබඳව DHL සමාගම මහත් සේ ආඩම්බරයට පත්වන බව ය. “කොවිඩ් වසංගත කාලසීමාව තුළ අප මත පැවරී ඇති ඓතිහාසික කාර්යභාරයට උර දීමට අපි හොඳින් සූදානම්. විශේෂයෙන් ම ජීව විද්‍යා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ට අදාළ ලොජිස්ටික් කටයුතු හැසිරවීමෙන් අප ලබා ඇති පළපුරුද්ද සහ අපගේ කාර්යමණ්ඩලයේ උනන්දුව නිසා එම කාර්යභාරය සාර්ථකව කළ හැකි බව විශ්වාසයි. DHL සමූහයේ අරමුණ වන්නේත්, ජනතාව සම්බන්ධ කරමින් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමයි”, යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර දෙසැම්බර් මාසය තුළ තවත් රටවල් රැසක් වෙත කොවිඩ් එන්නත් ප්‍රවාහනය කිරීමට DHL සමාගම සූදානමින් සිටියි.

DHL ගෝලීය ලොජිස්ටික් සේවාව තුළ 9,000කට වැඩි විශේෂඥ පිරිසක් සේවය කරති. එම නිසා  ඖෂධ නිෂ්පාදනය, වෛද්‍ය උපාංග, සායනික අත්හදා බැලීම් හා පර්යේෂණ සංවිධාන, තොග සැපයුම්කරුවන් හා බෙදාහරින්නන් මෙන්ම රෝහල් හා සෞඛ්‍ය සේවා සපයන්නන් ආදී මෙම කොවිඩ් එන්නත හා බද්ධ වූ වටිනාකම් දාමයේ බොහෝ දෙනෙකු සායනික අත්හදා බැලීම් සිට එන්නත ලබාදීම දක්වා වූ ක්‍රියාවලියේ සෑම පියවරක් ම ඩිජිටල් තාක්ෂණය හරහා සම්බන්ධ කිරීමට, DHL සමාගම සමත් වී තිබේ.

රටවල් හා ස්වාධීන භූමි ප්‍රදේශ 220ක් ආවරණය කරන DHL සෞඛ්‍ය සේවා අංශය තුළ 150කට වැඩි ඖෂධවේදීන්, 20කට වැඩි සායනික අත්හදා බැලීමේ මධ්‍යස්ථාන, 100කට වැඩි සහතික ලත් මධ්‍යස්ථාන, 160කට වැඩි GDP අනුමැතිය ලත් ගබඩා පහසුකම්, 15කට වැඩි GMP සහතික ලත් ස්ථාන, 135කට වැඩි වෛද්‍ය එක්ස්ප්‍රස් සේවා ස්ථාන මෙන්ම නියමිත වේලාවට ලොජිස්ටික් ‌ සේවා සපයන ජාත්‍යන්තර එක්ස්ප්‍රස් ලොජිස්ටික් ජාලයක් ද පවතී.

වර්තමානයේදී ලොව පුරා කොවිඩ් -19 එන්නත් මාත්‍රා බිලියන 10කට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ. ඊට දියුණු ලොජිස්ටික් යටිතල පහසුකම් නොමැති කලාප රැසක් ද අයත්වන අතර, එවැනි ප්‍රදේශවල ජීවත්වන ජනගහනය බිලියන 3කට අධික ය. ක්ෂණිකව කොවිඩ් එන්නත් බෙදාහැරීමේ කාර්යය තුළ ගෝලීය ලොජිස්ටික් සේවා සැපයුම්කරුවන් සතුව වෛද්‍ය සැපයුම් දාමයක් පවත්වාගෙන යාම ද අත්‍යවශ්‍යතාවක් වී තිබේ. එමෙන්ම ඉදිරි වසර දෙක තුළ එන්නත් බෙදාහැරීම වෙනුවෙන් Pallet බහාලුම් ලක්ෂ දෙකක් සහ ශීත පෙට්ටි මිලියන 15ක් ද ගුවන් වාර 15,000ක් ද අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙවන් පසුබිමක, තමන්ට ම වෙන්වූ 260කට වැඩි ගුවන් යානා ඇණියක් මෙන්ම විවිධ ගුවන් සේවා සමඟ හවුල්කාරීත්වයන් රැසක් ද, ලොජිස්ටික් කේන්ද්‍රයක් ද සහිත DHL සමූහය ලොව පුරා කොවිඩ්-19 එන්නත බෙදාහැරීම සඳහා හොඳ සූදානමකින් පසුවෙයි.

සාමාන්‍යයෙන් මෙවැනි එන්නතක් නිපදවීමට වසර 5-25ත් අතර කාලයක් ගතවූවද, කොවිඩ්-19 එන්නත වසරක් තුළ නිපදවීමට හැකිවීම ද සුවිශේෂී කරුණකි. මෙසේ ඉක්මණින් වැඩිදියුණු කරන ලද කොවිඩ් 19 එන්නත්වල සඵලතාවය වෙනුවෙන් ඒවා ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී සෙල්සියස් අංශක ඍණ 80ක පමණ උෂ්ණත්වයේ පවත්වා ගැනීමට ද සිදුවනු ඇත.

Visits: 14