ඇක්සස් නිවාස ව්‍යාපෘතියත් සමග මධ්‍යම පාන්තික නිවාස ඒකක 3000 ඉදිකිරීමේ පළමු අදියර අද ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි කෙරෙන නිවාස 5,000 පළමු අදියර යටතේ ඉදිවන නිවාස 3,000 ඉදිකිරීම් හෙට ඔරුගොඩවත්තේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙහිදී පළමු ඉදිකිරීම ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම මගින් ක්‍රියාත්මක කරයි. මේ යටතේ ඉදි කෙරෙන නිවාස ඒකක සංඛ්‍යාව 432 කි. නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඉදිකිරීම් සිදු කෙරේ. එහිදී නියමිත ප්‍රමිතියට අනුකූලව, ආකර්ෂණීය ලෙස මෙම නිවාස සාදා නිම කරන ලෙස එම අධිකාරිය ඉදිකිරිම් සමාගම් වෙත දන්වා තිබේ.

අඩු ආදායම්ලාභී පවුල්වලට සහ මධ්‍යම ආදායම් ලබන නිවාස නොමැති පවුල් වෙනුවෙන් නිවාස ලබා දීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මෙහි ප්‍රථම අදියර යටතේ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඉදි කෙරෙන නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවලද ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවලද ඉදිකිරිමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 3000  සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40කි. මෙම නිවාස ව්‍යාපෘති සඳහා Access Engineering PLC සමාගමට අමතරව George Steuart Engineering (Pvt) Ltd, Maga Engineering (Pvt) Ltd, Sanken Construction Company (Pvt) Ltd, Nawaloka Construction Company (Pvt) Ltd, Tudawe Brothers (Pvt) Ltd, International Construction Consortium (Pvt) Ltd, State Engineering Corporation (SEC) සහ Edward & Christie – Ecto Joint Venture යන දේශීය කොන්ත්‍රාත් සමාගම් වෙත අවස්ථාව හිමිව තිබේ.

නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන සේ මෙම නිවාස ඒකක ඉදිකිරීම විශේෂත්වයක් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි. ඊට අමතරව තරුණ වෘත්තිකයන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ මධ්‍යම පාන්තිකයන් ඉලක්ක කරගෙන මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදි කෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විත වෙයි. වර්ග අඩි 700ක නිවාස නිදන කාමර දෙකකින් සමන්විත වන අතර, වර්ග අඩි 900ක නිවාස නිදන කාමර තුනකින්ද සමන්විත වෙයි.

මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකිරීම ජනතාව වෙනුවෙන් ලබා දෙන විශාල සහනයක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම ඉදිකිරිම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දීම මෙන්ම වසර 25ක කාලය තුළ රජයේ බැංකු විසින් 6.25%ක පොළී අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබා දීම ඇතුළු කරුණු තුළින් මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සහනදායී මිලකට නිවාස හිමි කරගැනීමේ අවස්ථාව  හිමි වන බවත් රජය පවසයි. මෙම මහල් නිවාස ඒකක සඳහා සියලු යටිතල පහසුකම් රජය මගින් ලබා දීම සිදු කරයි.

රට පුරා ඉදි කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය වසර 1 ½ ක් තුළ ඉදිකර අවසන් කිරිමට නියමිත අතර, නිවාස 5000න් ඉතිරි නිවාස 2,000 ඉදිකිරීමේ කටයුතු මාර්තු මාසයට පෙර ආරම්භ කිරීමටද සැලසුම් කර ඇතැයි රජය පවසයි.

Visits: 71