අනිකා සේනානායක සහ රනිල් පතිරණ සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

සම්පත් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ අනිකා සේනානායක සහ රනිල් පතිරන යන දෙපළ එම ධුරවලින් සමුගෙන ඇතැයි බැංකුව සඳහන් කරයි. 2020 දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම ඉවත් වීම සිදුව තිබේ.

ඔවුන් දෙදෙනාම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස වසර 9ක ධුර කාලයක් සම්පූර්ණ කිරීමත් සමගින්ම මෙලෙස ධුරවලින් ඉවත් වීමට පියවර ගෙන තිබෙන බව සම්පත් බැංකුව සඳහන් කරයි. 2007 අංක 11 දරන බැංකු පනතේ වගන්ති 3(2) (ii) (A) හි ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන සාංගමික පාලනය යටතේ මෙම ඉවත් වීම සිදුව තිබේ.

මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල ධුරවලින ඉවත් වන අවස්ථාව වනවිට අනිකා සේනානායක මහත්මිය සතුව බැංකුවේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොතිබුණු බවත්, රනිල් පතිරණ මහතා සතුව එම දිනය වන විට බැංකුවෙහි කොටස් 24,456ක හිමිකාරීත්වයක් පැවැති බවත් සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

අනිකා සේනානායක මහත්මිය IWS හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ හිමිකරුවා වන මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආතර් සේනානායක මහතාගේ බිරිඳද වෙයි. එසේම රනිල් පතිරණ මහතා වණික් ඉන්කෝපරේෂන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලදාරියාද වෙයි.

ඒ අනුව සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, නියෝජ්‍ය සභාපති ධාරා විජේතිලක, රුෂාන්ක සිල්වා, දෙෂාල් ඩි මෙල්, දිලිප් ද එස්. විජේරත්න, කේෂිණි ජයවර්ධන, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, සහ වජිර කුලතිලක විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

Visits: 25