ගාලුමුවදොර නාගරික වන උද්‍යානය විවෘත කෙරේ

කොළඹ ගාලු මුවදොර ඉදිකෙරුණු නාගරික වන උද්‍යානය විවෘත කිරීම පසුගිය දෙසැම්බර් 30 වැනි දා සන්ධ්‍යාවේදී සිදු කෙරුණු බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම නාගරික වන උද්‍යානය ඉදි කෙරී තිබේ.

කොළොම්තොට, ලෝකයේ දර්ශනීයම අගනගරය බවට පත් කිරී‍මේ ජාතික අධිෂ්ඨානය පෙරදැරිව පුරවැසි ජනතාවගේ මෙන් ම සුවහසක් සංචාරකයින්ගේ සිත, ගත සහ නෙත නිවන හරිත පරිසරයක් මෙසේ කොළඹ අගනගරයේ නිර්මාණය කිරීම සියලුම දෙනාට අළුත් ම අත්දැකිමක් වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරීස්, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, කොළඹ පුරපති රෝසි සේනානායක සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නාගරික වන උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණ.

ජනපතිගේ හා අගමැතිගේ උපදෙසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.එස්. ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදු කර තිබේ

යුධහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා සම්බන්ධ කරමින් අලුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ හරිත අපරව්‍යුහ පහසුකම් සැලැස්ම සඳහා සැලැස්මක නියමු ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කෙරී ඇත.

කොළඹ නගරය හරිත නගරයන් ලෙස දකුණු ආසියාවේ වේගවත්ව නැගී එන අග නගරය බවට පත්කරලීම සඳහා පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය නාගරික ජනතාවට විඳීමට අවස්ථාව ලබා දීම හා එයට ආර්ථිකමය වටිනාකමක් එක් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Visits: 116