හිටපු ජනපතිවරුන් 3කට සහ ජනපති ආර්යාවකට 2021 අයවැයෙන් රුපියල් කෝටි 6ක්

2021 වසර සඳහා වන වත්මන් රජයේ අයවැය හරහා හිටපු ජනපතිවරුන් තුන් දෙනෙකුට සහ එක් හිටපු ජනපති ආර්යාවක් වෙනුවෙන් රුපියල් කෝටි 6ක (ලක්ෂ 600ක) පමණ මුදලක් වෙන් කර ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කෙරුණු අයවැය ඇස්තමේන්තුව තුළ මේ කරුණු ඇතුළත්ව තිබෙන බව මේ පිළිබඳ වාර්තාව ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

ඒ අනුව හිටපු ජනපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙතද මෙවර අය වැය මගින් ජනපතිවරයෙකුගේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වන වියදම් ලෙස මුදල් වෙන් කිරීමක් සිදුව තිබෙන බව වාර්තා සඳ හන් කරයි.

මීට අමතරව මෙම මුදල් වෙන් කිරීම මගින් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම සිදුවන බවත් පැවසෙයි. ඒ අතරින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ විශ්‍රාම වැටුප වසරකට රුපියල් ලක්ෂ  40කට ආසන්න වෙයි. මෙහිදී ඇය විසින් 2021 වසර සඳහා භාවිත කරන ගොඩනැගිලි සහ රථවාහන සඳහා වන වියදම රුපියල් ලක්ෂ 30කි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සඳහා 2021 වසර සඳහා වෙන් කෙරී ඇති විශ්‍රාම ප්‍රතිලාභය රුපියල් ලක්ෂ 81 බැගින් වෙයි. එසේම ඔවුන් දෙදෙනාටම සිය කාර්යාල ගොඩනැගිලි සහ මෝටර් රථ වෙනුවෙන් තවත් ලක්ෂ 160 බැගින් මුදල් හිමි වෙයි.

මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙත 2021 වසර සඳහා පිරිනැමී ඇති විශ්‍රාම ප්‍රතිලාභය රුපියල් ලක්ෂ 20කි. එසේම තවත් ලක්ෂ 20ක මුදලක් ප්‍රාග්ධන වියදම් යටතේ ගොඩනැගිලි සහ මෝටර් රථ වෙනුවෙන් ලබා දී ඇත.

කෙසේ වෙතත් වර්තමානයේදී අගමැති ධුරය දරන  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුර දෙක සඳහාම වෙන වෙනම වැටුප් හිමි කරගන්නේද යන්න සම්බන්ධයෙන් මෙම වාර්තාව මගින් පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බවද පුවත් පත පවසයි. එසේම වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද වැටුප් පිළිබඳව තත්ත්වයද එසේම වන බවත් පුවත්පත සඳහන් කරයි.

මේ අතර 2019 වසරේදී එවකට  හිටපු ජනපතිවරුන් සහ හිටපු ජනපති ආර්යාව වෙනුවෙන් වෙන් කර තිබූ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයේ වටිනාකම රුපියල්  ලක්ෂ 379ක් විය.

ඒ අනුව දැනට පවතින වියදම් අනුව සලකා බැලීම ඇතුළුව ප්‍රාග්ධන වියදම් ගැලපීම හරහා මෙන්ම 2019 නොවැම්බර් මාසයේ සිට මෙම විශ්‍රාම ගිය ජනපතිවරුන්ගේ ලැයිස්තුව වෙත ඇතුළු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයද සමගින් 2021 වසර සඳහා වන වියදම මෙලෙස තවත් රුපියල් ලක්ෂ 221 කින් ඉහළ ගොස් තිබේ.

Visits: 97