වාර්ෂික වාර්තාව ඉදිරිපත් නොකිරීම ගැන සිංහපුත්‍ර ෆිනෑන්ස් කරුණු දක්වයි

කොළඹ කොටස්  හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම එහි ලැයිස්තුගත වීමේ රෙගුලාසි අංක 7.5 (ඒ) වෙත අනුකූලතාවක් නොදක්වමින්  2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් CSE වෙත කරුණු දක්වා තිබේ.

මෙම අපොහොසත්වීමත් සමගින්ම කොළඹ කොටස් හුවමාරුව මගින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එහි Watch List ලැයිස්තුව වෙත එක් කිරීමටද කටයුතු යොදා තිබේ.

කෙසේ වෙතත් මෙලෙස 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තාවක් ඉදිරිපත්් කිරීමට සමාගම අපොහොසත් වූයේ දැනටමත් සිය මූල්‍ය සමාගම සහ තවත් මූල්‍ය සමාගමක් අතර සිදු කිරීමට නියමිත ඒකාබද්ධවීම සඳහා වන අනුමැතිය මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් නොලැබීම බව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධවීමට යයි

ඒ අනුව යෝජිත ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව තවත් මාස තුනක කාලයකදී මෙම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සඳහන් කරයි.

“ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කර ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරිම සඳහා සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම තවත් මූල්‍ය සමාගමක් හා ඒකාබද්ධවීමට යෝජනාවක් මහ බැංකුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ වනවිට එම කටයුතු මහ බංකුවේ අධීක්ෂණය යටතේ වෘත්තීමය උපදේශක සමාගමක් හරහා සිදු කෙරෙහින් පවතිනවා.”

“ඒ අනුව මෙම යෝජිත ඒකාබද්ධ වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වූ වහාම අපට 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන මුල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව අවසන් කිරීමට හැකි වේවි. එහි පිටපතක් කොළඹ කොටස්  හුවමාරුව වෙතත් ඉදිරිපත් කෙරෙනු ඇති.” යනුවෙන් සිංහ පුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 120